Biz Log
Classifields
Biz Log
Classifields

ජීවිතයම ලියා තිබේ ඈත සොඳුරු ආකාසේ...

ජීවිතය යනු පුළුල් අරුත් දනවන්නකි. අහස, පොළව, මුහුද මේ සියල්ල ජීවිතයට අයත්ය. සකලවිධ විශ්වයේ ජීවමය පැවැත්ම ජීවිතය ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව අහසට ද පොළවටද මුහුදට ද ජීවිතයක්‌ පවතී. බොහෝ දෙනා සිතන්නේ ජීවිතය මිනිසුන්ට පමණක්‌ අයිතිය යන්නය. එය සාවද්‍ය අදහසකි. ගහ, කොළ, ඇළ, දොළ සතා සීපාවා මේ සියල්ලටම ජීවිතයක්‌ ඇත. විශ්වය යනුවෙන් අප හඳුනාගන්නේ මේ මහා ජීවිතයයි. මේ මහා ජීවිතය (Grate Life) ඇතුළත ඇති ක්‍ෂුද්‍ර ජීවිත ක්‍ෂුද්‍ර ජීවීන් ලෙස අපි හඳුනාගනිමු. විශ්වයට සාපේක්‍ෂව ගත් කල මිනිසා බැක්‌ටීරියාවකටවත් තරම් නොවන ක්‍ෂුද්‍ර ජීවියෙකි. මේ සියල්ලෙන් අපට ඇඟවෙන්නේ අන් දෙයක්‌ නොව මහා ජීවිතය යනු ක්‍ෂුද්‍ර ජීවිත සමවායක්‌ බවයි. මේ ජීවිත සමවාය උඩ එකිනෙක ජීවිත එකිනෙක මත සාපේක්‍ෂ පැවැත්මක්‌ අනුගමනය කරයි.

සූර්යයාගේ ක්‍රියාකාරීත්වය සාපේක්‍ෂව නොව නිරපේක්‍ෂව සිදුවන්නේ යෑයි කිසිවෙකුට තර්ක කළ හැකිය. එහෙත් නවීන විද්‍යා දැනුම අනුව සූර්යයා යනු දැල්වෙමින් පවත්නා ශක්‌ති ප්‍රවාහයකි. එයටද පැවැත්මක්‌ මෙන්ම අවසානයක්‌ පවතී. ඇතැම් කාලවලදී ඉන් පිටවන ගිනිදළු ප්‍රවාහය වර්ධනය වීමද අඩුවීමක්‌ද විද්‍යාඥයන් නිරීක්‍ෂණය කර ඇත. එයට තවමත් නිශ්චිත රටාවක්‌ හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත් මේ සූර්යයාගේ පැවැත්ම හෙවත් ජීවිතය මත මේ සෞරග්‍රහ මණ්‌ඩලයේ සෙසු ග්‍රහලෝක වල ජීවිතයට සාපේක්‍ෂව බලපෑමක්‌ එල්ල වී ඇත.

සූර්යයාගේ සිට පෘතුවිය පිහිටන සාපේක්‍ෂ ස්‌ථානය හා දුර අනුව සෘතු විපර්යාස සිදුවේ. චන්ද්‍රයාද ඊට අනුකූලව පෘතුවියට බලපෑමක්‌ එල්ල කරන අතර සෞරග්‍රහ මණ්‌ඩලයේ සියලුම ග්‍රහයන් මේ ආකාරයෙන් එකිනෙකා කෙරේ සාපේක්‍ෂ බලපෑමකට යටත්ව ක්‍රියා කරයි. හිරු සඳු දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය මේ අනුව අපට පැහැදිලිව දැකගත හැකි වූවද සෙනසුරු, බ්‍රහස්‌පති, යුරේනස්‌ වැනි ග්‍රහයන් පිළිබඳ එක එල්ලේ දැකගත නොහැකිව ඇත. නවීන විද්‍යාව විසින් තවමත් මේ පිළිබඳව පර්යේෂණ මෙහෙවන අතර අතීත විද්‍යාව විසින් බොහෝ කරුණු සුත්‍ර ගතකර තිබේ.

ජ්‍යෙතිෂය යනු අන් කිසිවක්‌ නොව සාම්ප්‍රදායික ඥානය විසින් සූත්‍ර ගත කරන ලද සම්පින්ඩනය කරන ලද සෞරග්‍රහ මණ්‌ඩලය පිළිබඳ ඥානයයි. මේ ඥානයට අඥාන ලෙස පයින් ගසන්නා නූතන තාරකා විද්‍යාවේ පදනමට ම පහර ගසන්නෙකි. නූතනම මතය අප සූර්යා වටා ගමන් ගන්නා බව වූවද ඒ සඳහා අප, මෙහෙයවන ලද පෘතුවි කේන්ද්‍රවාදය අවිද්‍යාවක්‌ යෑයි බැහැරකිරීම යෝග්‍ය නොවේ. විද්‍යාව යනු යාවත්කාලීන වන විශ්ව දැනුම් ප්‍රවාහයක්‌ විනා පරමයක්‌ හෝ නිශ්ඨාවක්‌ නොවේ. කලින් කලට විස්‌ථාපනය වී යන දැනුම් පද්ධති මගින් නව දැනුම් පද්ධති කළඑළි බසින අතර ඒ සියල්ල ඇතැම් විට ඉපැරැණිම දැනුම් පද්ධති සමග සමපාත වීමට පටන් ගනී. ඉර, හඳට දෙවියෙකු ලෙස නමස්‌කාර කරන පැරණි මිනිසාද ඉරහඳ ලොවට කරනා කාර්යය ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයාද අතර ඇත්තේ භක්‌තියේ වෙනස විනා නොදැනුමේ වෙනසක්‌ නොවේ. දෙදෙනාම ඉර හඳ ජීවිතයේ පැවැත්මට වැදගත්ය යන්න පිළිගන්නෝ වෙති.

ජීවිත ගැන සංවේදීවන්නාවූ ඕනෑම මිනිසෙකු ජ්‍යෙතිෂයටද සංවේදීවන්නේ ඉර, හඳ තාරකා පිළිබඳ ජ්‍යෙතිෂය තුළ අන්තර්ගත දැනුම හේතුවෙනි. ජ්‍යෙතීර් විද්‍යාව බිහිවන්නේ පෘතුවි කේන්ද්‍රවාදයෙනි. පෘතුවිය වටා ඉරහඳ තාරකා සියල්ල ගමන් කරන්නේය යන දෘශ්‍යමානය පදනම් කර ගනිමිනි. එහෙත් ජ්‍යෙතිෂය පිළිබඳ සිද්ධාන්ත නිපදවූ මහා ප්‍රඥායෝ මේ දෘෂ්‍යමානය විනිවිද දුටුවෝම වූහ. පොදු ජන හිත පිණිස “සම්මතයක්‌” මත පිහිටවූ දැනුම් පද්ධතියක්‌ ලෙස ඉන් ජීවිතය පිළිබඳ යම් යම් තීරණ, තීන්දු ගැනීමට හැකි පරිදි විෂය පථයෙන් සකස්‌ කළේ එබැවිනි.

සූර්යකේන්ද්‍ර වාදය මත පදනම් වීමෙන් පුද්ගලයා සඳහා එල්ලවන විෂයීක දැනුමක්‌ නිපදවීමට නොහැකි බව පූර්වාචාරීහු සිතුවා විය යුතුය. ඔවුනගේ වෑයම වූයේ පුද්ගලයාත් සන්තානයත් පිළිබඳ ගවේෂණය කිරීමයි. බාහිර සන්තාව පිළිබඳ ගවේශණය ද ආරම්භ කළ යුත්තේ පුද්ගල සන්තාවෙන් යන්න ජ්‍යෙතීර්විද්‍යාවේද පදනමකි. මේ පදනම අනුව පුද්ගලයාත් ලෝකයත් යනු දෙකක්‌ නොව එකක්‌ ම වන්නේය. එහෙත් මධ්‍යතන යුගයේදී වැඩී ආ විද්‍යාත්මක චින්තනය විසින් පුද්ගලයාත් ලෝකයත් ඛන්ධනය කර ඇත. එය ප්‍රතිඵල විසින් ලෝකය යනු පුද්ගලයාගේ පර්යේෂණ අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රයෝජනය වස්‌තුවක්‌ය යන අදහස තහවුරු කර ඇත. ඕසෝන් ස්‌ථරය සිදුරු වීම, පරිසර දූෂණය වැනි බරපතල ගැටලු හමුවේ අද මුළුමහත් අහසේ පොළවේ නො සියලුම ජීවිත අවදානම කලාපයකට රැගෙනවිත් ඇත්තේ මේ අනවශ්‍ය ඛන්ධනය කිරීමයි. එබැවින් අද පාරිසරික ගොවිතැන කෘෂි රසායන ගොවිතැනට වඩා අවශ්‍ය වී ඇත. ගෝත්‍රික සමාජයේ වූ සාමුහික නිෂ්පාදන ක්‍රමය අවශ්‍ය වී ඇත. ජීවිතය සමග වූ විනෝදය අවශ්‍ය වී ඇත. මේ සියල්ල පැරැණි විද්‍යාව මගින් මිනිසාට අත්පත් කරදුන් අතර දේශපාලනය මගින් විකෘති කිරීම් සිදුකළේය. වර්තමානයේදී මේ ඉතිහාසයේ කිරි යොදය අපට අත්‍යවශ්‍ය වී ඇත. එනිසාම ජ්‍යෙතිෂ්‍ය හා ජීවිතය යනු දෙකක්‌ නොව එකකි. ජීවිතයම ජ්‍යෙතිෂ්‍ය මගින් දැකිය හැකිය. ජ්‍යෙතිෂ්‍යම ජීවිතය මගින් දැකිය හැකිය. එය දෘෂ්ටිවාදීව ගත් විට වඩාත් විචිත්‍ර මාර්ගයක්‌ අප ජීවිතයට සපයා දෙන්නේ මේ අරුතිනි.

උපුටා ගැනීම දිවයින

Share This Article