සෙත්කවි පිහිට ලබන්නයි, සුව සෙත උදා වෙන්නයි
සෙත්කවි යනු යම් පුද්ගලයකුට ග්‍රහ අපලයක් නිසා හෝ වෙනත් ආකාරයකට කරදර ප්‍රශ්න ඇති වූ විටත් අසනීප ඇති වූ විටත් ශාන්තිය පිණිස එම පුද්ගලයා උදෙසාම නිර්මාණය කොට ගායනා කරනු ලබන කාව්‍ය විශේෂයකි. ශබ්ද ශාස්‌ත්‍රයට සම්බන්ධ බැවින් නිසි පරිදි ගණ ආදිය යොදා මෙම කාව්‍ය නිර්මාණය කිරීම අවශ්‍ය වේ. සෙත්කවිය නිර්මාණය කිරීමේදී කාව්‍ය කර්තෘ විසින් ප්‍රථමයෙන් ග්‍රහ දෝෂය පවතින පුද්ගලයාගේ නමට ගැලපෙන පරිදි අක්‌ෂරයක් ප්‍රථමයෙන් සොයා ගැනීම අවශ්‍ය වේ. ග්‍රහදෝෂය පවතින පුද්ගලයාගේ නාමය අභිධානය ලෙස හැඳින්වේ. අභිධානයේ ප්‍රථම අක්‌ෂරයට ගැලපෙන අකුරකින් කවිය ආරම්භ කළ යුතුවේ. මෙම අක්‌ෂරය නැකැත් හිමි අක්‌ෂර චක්‍රයෙන් සොයාගත හැක.
අක්‌ෂර තෝරාගැනීමේදී දිව්‍ය අක්‌ෂර, මානුෂ්‍ය අක්‌ෂර, අපාය අක්‌ෂර යනුවෙන් අක්‌ෂර වර්ග තුනක් ඇත. සෙත්කවි නිර්මාණයේදී දිව්‍ය හෝ මනුෂ්‍ය අක්‌ෂරයක් තෝරාගත යුතුයි.
දිව්‍ය අක්‌ෂර :
ඉ-ඔ-ට-ඩ-ත-ද-ල-ව-ස
මනුෂ්‍ය අක්‌ෂර :
උ-ප-බ-ග-හ
අපායක්‌ෂර :
එ-ක-ය-ම-ර-ජ-අ-ණ-න-ළ-අං
ශුභ අක්‌ෂරය තෝරාගැනීමෙන් පසුව කාව්‍යයේ පළමු වචනය ශුභ ගණයකට සම්බන්ධ වීම අවශ්‍ය වේ. මෙහිදී සුබ ගණ 4 ක් හා අසුබ ගණ 4 ක් වශයෙන් ගණ අටක් කාව්‍ය ශාස්‌ත්‍රයේ දක්‌වා ඇත. සෙත්කවි නිර්මාණයේදී සුබ ගණ භාවිතා කරන අතර වස්‌කවි වලදී අසුබ ගණ භාවිතා කෙරේ. ගණයක් යනු මාත්‍රා තුනක සම්බන්ධතාවකි. සෙත් කවියේ පළමු පදයේ පළමු වචනයේ ගණය සුබ විය යුතුයි. ඇදෙන අකුරු ගුරු මාත්‍රා යනුවෙන්ද නොඇදෙන අකුරු ලඝූ මාත්‍රා යනුවෙන්ද හැඳින්වේ.
සුබ ගණ හතර
1. ගුරු මාත්‍රා 4 කි. – භුමිගණ – පඨවිධාතු – බුධ අධිපති – ජය සම්පත් ලාභ ඇති කරයි
2. ලඝූ 1 ගුරු 2 – ජලගණ – ආපෝධාතු – සිකුරු අධිපති – ආයු – ධෛර්ය, අභිවෘද්ධිය
3. ගුරු 1 ලඝූ 2 – චJද්‍රගණ – ආපෝධාතු – සඳුහිමි – සෙත්, යසස් – නුවණ
4. ලඝූම 3 – දේවගණ – ආකාශධාතු – ගුරුඅධිපති – බල තේජස් ආයු
අක්‌ෂරවේධය
සෙත් කවි රචනයේදී කාව්‍යයේ ආරම්භක අක්‌ෂරත් අභිධානයේ ආරම්භක අක්‌ෂරයත් වේධ නොවී තිබීමද අවශ්‍ය වේ. මෙහිදී අක්‌ෂර වේධය සම්බන්ධයෙන් දැනගැනීම අවශ්‍යවේ.
“අ” ශබ්දයට “උ” ශබ්දය වේධ වේ
“ආ” ශබ්දයට “ඌ” ශබ්දය වේධ වේ
“ඉ” ශබ්දයට “ඒ, එ” ශබ්දය වේධ වේ
“ඊ” ශබ්දයට “ඩ, ඕ” ශබ්දය වේධ වේ
සෙත්කවි රචනයේදී පංචපක්‌ෂි ශාස්‌ත්‍රය පිළිබඳව අවබෝධයක් තිබීමද අවශ්‍ය වේ. ස්‌වර 5 ට පංච පක්‌ෂින් අයත්වන ආකාරය පහත දැක්‌වේ.
අ – භෙරූන්ඩ (රාජාලියා)
ඉ – පිංගල (බකමූණා)
උ – කාක
එ – කුක්‌කුට
ඔ – මයුර
අභිධානයේ ප්‍රථම ස්‌වරය හිමි පක්‌ෂියාත් සෙත්කවියේ ආරම්භක ස්‌වරය හිමි පක්‌ෂියාත් විරුද්ධ නොවන ආකාරයෙන් යොදා ගැනීම අවශ්‍ය වේ. මොණරාටත් කුකුළාටත්, රාජාලියාටත් බකමූණා සතුරු වෙති. කපුටාට බකමූණාද, රාජාලියාට බකමූණු මොනර – කුකුළු තුන්දෙනාද සතුරු වෙත්.
අපල දෝෂ ඇතිකරන ග්‍රහයා සොයාගෙන එම ග්‍රහයාට අධිපති දෙවියන් වෙනුවෙන් සෙත්කවිය නිර්මාණය කරනු ලැබේ. පළමු කවි පදයෙන් හා දෙවැනි කවිපදයෙන් දෙවියන්ගේ දිව්‍ය තේජානුභාවය විස්‌තර කරන අතර තුන්වැනි පදයෙන් අපලය පිළිබඳ විස්‌තරයත් හතරවැනි පදයෙන් ආශිර්වාදය ඉල්ලා සිටීමත් කරනු ලැබේ.
සෙත්කවිය කියවීමේදී ප්‍රථමයෙන් බෝධිපූජා තබා පසුව දේව පූජා තබා නියමිත වාර ගණනක් කියවිය යුතුය. ඊට පසු දෙවියන්ට පින්දීම අවශ්‍ය වේ. සෙත් කවියක් ගායනා කිරීමේදී නොඇදෙන මාත්‍රා නොඇදෙන ලෙසත් ඇදෙන මාත්‍රා පමණක් ඇදෙන ලෙසත් ගායනා කිරීම අවශ්‍ය වේ. ඇතැම් මාධ්‍යවලින් සෙත්කවියක තිබිය යුතු අවශ්‍ය ගුණාංග නිසි පරිදි සම්පූර්ණ නොකොට සෙත්කවි ගායනා කරන අවස්‌ථාද අසන්ට ලැබේ. නිසි පරිදි සකස් කරන ලද සෙත් කවියක් නිසි පරිදි ගායනා කිරීමෙන් ඒ නිසි ගුණදායක තත්ත්වයන් ලබාගත හැකි වේ.
උපුටා ගැනීම දිවයින