අප අවට චරිත හඳුනා ගනිමු
“ලෝකය රඟමඬලකි. අපි එහි නළු නිළියන් වෙන්නෙමු” යෑයි ලෝක ප්‍රකට නාට්‍ය ශිල්පියෙකු වූ විලියම් ෂේක්‌ස්‌පියර් පවසා තිබේ. ඇත්ත වශයෙන්ම සමාජයේ විවිධ ගැහැණුන් හා මිනිසුන් සමග ඇසුරු කිරීමට සිදුවන අපට ඔවුන් කවරහුදැයි සැබෑ ලෙසම හඳුනා ගන්නට ලැබෙන්නේ බොහෝ කල් පසුවූ විටය. මිනිසුන් හඳුනා ගැනීම එතරම් දුෂ්කරය. ඊට සැබෑ හේතුව වන්නේ ඔවුන් තම තමන්ගේ සත්‍ය තත්ත්වය වසන් කරගෙන කරන ව්‍යාජ රඟපෑම නිසාය. වේදිකාවක රඟපෑමට නොහැකි නමුත් බොහෝ අය අප අතර සිටින්නේ කිසියම් චරිතයක් රඟපාමින් බව මැනවින් විමසා බලන විට පෙනී යයි.
“චරිතය” යන වචනය අර්ථ දෙකක් සඳහා භාවිතා වන්නේය. එකක් නම් රංගන ශිල්පයේදී කරන රඟපෑමට අදාළ (CHARACTER) චරිතයයි. දෙවැන්න යමෙකුගේ හැසිරීම හෙවත් ගතිගුණ පිළිබඳව පෙන්වන චරිතයයි. එනම් කෙනෙකුගේ යථා ස්‌වභාවයයි. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ කෙනෙකුගේ සැබෑ චරිතය හෙවත් ගති ගුණ හඳුනා ගන්නා ආකාරයයි. ඔබ ඇසුරු කරන පුද්ගලයාගේ සැබෑ චරිතය හඳුනා ගැනීමට ලැබීම ඔබට ඉතා ප්‍රයෝජනවත් වනවාට සැක නැත. මනුෂ්‍ය චරිත හඳුනා ගැනීම සඳහා මනෝවිද්‍යාඥයින් ද බොහෝ වෙහෙස දරා ඇති බව පෙනේ. කාල් යුං නම් විද්‍යාඥයා ගේ සංකල්පය අනුව මිනිසුන් වර්ග කරන්නේ දෙආකාරයටකය. ඔවුන්ගේ වැඩි නම්‍යතාවය ඇත්තේ අභ්‍යන්තරව (තමා ගැනම) ද නැතිනම් බාහිරවද යන්න විමසා බලන මෙය "අන්තර්ගත බාහිර්තක වර්ග වාදය" ලෙස හැඳින්වේ. එහෙත් බුදු දහමේ පැහැදිලි කරන චරිත ලක්‍ෂණ හා ජ්‍යෙතිෂය අනුව කරන චරිත වර්ගීකරණය මෙයට වඩා බොහෝ ගැඹුරුය. කියවීමේදී කතුහලය දනවන සුළුය. හැදැරීම ද ආශ්වාදජනකය. අප පිටතින් දකින පුද්ගලයාට වඩා බෙහෙවින් වෙනස් චරිතයක් ඔහුට හෝ ඇයට තිබෙන බව විමසිලිමත්ව බලන විට දැකගත හැකි වන්නේය. චරිතය ගොඩනැඟෙන්නේ පෙර ආත්ම භාවයේ සිට පුරුදු පුහුණු කරගත් චර්යාවන්ට අනුකූලව බව ධර්මයේ සඳහන් වෙයි. එවැනි චරිත හයක් බුදු දහමේ විස්‌තර කර ඇත. එනම්
1. රාග චරිත, 2. ද්වේෂ චරිත, 3. මෝහ චරිත, 4. ශ්‍රද්ධා චරිත, 5. බුද්ධි චරිත, 6. විතර්ක චරිත වශයෙනි.
මෙම නම් කිරීම කර ඇත්තේ චරිතයේ බහුලව දක්‌නට ලැබෙන ලක්‍ෂණ අනුවය. රාගය හෙවත් ආශාවන් බහුලව ඇත්තේ රාග චරිතයාටය. අන් චරිතද ඒ අනුව නම් කර තිබේ. යම් කෙනෙකු මේ චරිත හයෙන් කුමකට අයත් දැයි හඳුනා ගන්නේ කෙසේද යන්න ගැටළුවකි. චරිතය හඳුනා ගන්නේ මෙසේය.
ඉරියව් පවත්වන ආකාරය කෑම කන ආකාරය, ආදිය අනුව විමසා බැලීමෙන්ද ජන්ම පත්‍රය හෙවත් හඳහනේ ග්‍රහ පිහිටීම් වලින්ද චරිතය අවබෝධකර ගත හැක්‌කේය. පහත සඳහන් වන්නේ මේ පිළිබඳ කෙටි විස්‌තරයකි.
රාග චරිතය :
මෙම චරිතය ඇති අය ඇවිදින විට යටි පතුලේ මැද කොටස බිම ස්‌පර්ශ වන්නේ නැත. විළුඹ හා පයේ කෙළවර පමණක් බිම වදී. මැද කොටස උස්‌ව තිබේ. මහත් ආඩම්බරයෙන් ලාලිත්‍යයට ගමන් කරයි. තමන්ගේ පෙනුම ගැන බොහෝදුරට සැලකිලිමත් වෙයි. ආහාර ගන්නා විට එය ලස්‌සනට, පෙනුමට, වර්ණවත්ව තිබීම අවශ්‍ය වෙයි. ගුණයට වඩා රසය ගැන බලයි. රස මිහිරම සොයයි. ඇඹුල් රස ප්‍රියයි. නිදා ගන්නා විටද බොහෝ සැප පහසුවට ලස්‌සන ඇඳ ඇතිරිලි කොට්‌ට මෙට්‌ට වලින්ම තෘප්තිමත් වෙයි. බොහෝ විට ඇලයට නිදයි. අවදි වන විටද සංසුන්ව අවදි වෙයි. තරුණ තරුණියන්ගේ ඇසුරට වඩාත් කැමති වෙයි. ජ්‍යෙතිෂයේදී රාගය හිමි සිකුරු ග්‍රහයා බලවත්ව ලග්න භාවයේ තැන්පත් වීම වෘෂභ, තුලා ලග්නය වී සිකුරුගේ තැන්පත් වීම හෝ දැකීම රාග චරිතයක උපදවයි.
ද්වේෂ චරිතය :
ද්වේෂ චරිතය හිමි අය බිම හාරන්නාක් මෙන් ගමන් කරයි. ඉක්‌මන් ගමනින් යයි. නිතර තරහ ගනී. ක්‍ෂණික කෝපය, කළ කිරීම, අතෘප්තිය පෙන්වයි. කලබල දැඩි ඉරියව් පෙන්වයි. නිතර ගැටුම් ඇතිකර ගනී. නිදා ගන්නා විටද කොහොම තිබුණත් තෘප්තියක් නැත. ඇඳ ඇතිරිලි කොට්‌ට අවුස්‌සා දමා අවදි වන්නේද ද්වේෂයෙනි. හැම විටම දොස් දකී. හොඳක් දකින්නේ නැත. කෑම කන විට නිතරම වැරදි හොයයි. දොස් කියයි. පිළිවෙළකට කෑම කන්නේද නැත. රසයත් ගුණයත් දැනීමටවත් නොහැකිවේ. කෑම කන විට ඩහදිය වැගිරේ. කතා කරන්නේද රළු වචන වලිනි. සිංහ හා වෘශ්චික ලග්න හිමි අය ද්වේෂ චරිතයට බරය. එහෙත් එම ලග්නය වූ පමණින් නොවේ. ද්වේෂය හිමි රවි හා කුජ යන ග්‍රහයින් ලග්න භාවයේ හෙවත් පළමුවැන්නේ සිටීම හෝ දැකීම නිසා ද්වේෂ චරිතයින් බිහි වන්නේය.
මෝහ චරිතය :
සෑම ඉරියව්වකම අවුල් ගතියක් තිබේ. කෑම කන විට ලුණු රසට වැඩියෙන් කැමති නමුත් රස ගුණ නොබලා බඩ පිරෙන තුරු කාගෙන යයි. කෑම මේසයේද නොව පුටුවක කෙළවරට වී බාගෙට ඉඳගනී. පිඟානේ කෙළවරක සිට නොව අතනින් මෙතනින් රැගෙන අනුභව කරයි. කෑමට තිබුණේ මොනවාදැයි පසුව මතක නැත. ගමන් කරන විට වට පිට බලමින්ද අපරීක්‍ෂාකාරිවද ගමන් කරයි. පාරේ දෙපැත්තටම මාරු වෙමින් ගමන් කරයි. නින්දට කැමතිය. බොහෝවිට මුනින් අතට නිදා ගනී. තදින් ගොරවයි. සමහර විට උඩුකුරුව ද නිදාගනී. මෝහ චරිතයක් නිර්මාණය වීමට බොහෝදුරට බලපාන්නේ ශනිගේ බලයයි. සෙනසුරු ලග්නයේ හෙවත් පළමුවන භාවයේ තැන්පත් වූ විට හෝ දුටු විට මෝහ චරිතයෝ උපදිති.
ශ්‍රද්ධා චරිතය :
වැඩිපුරම ඇලයට හෙවත් සිංහ සේයාවෙන් නිදයි. නින්දෙන් භයවීම්, ගෙරවීම් නැත. ආගමානුකූල දේවල් සිතමින් නිදා ගනී. පාන්දර අවදි වන්නේද ශාන්තවය. ගෙදර අන් අයට වඩා පසුව නිදාගෙන කලින් අවදි වේ. සංවරව ඇවිදි සංවරව කතා කරයි. අනුන් සතුටුවන ආකාරයට හැසිරේ. ගරු කළ යුත්තන්ට ගරු කරයි. නුපුරුදු ගමනක් යැමටද බියක් නැත. කෑම කන විටද සන්සුන්ය. අනුන්ට නිර්ලෝභිව සංග්‍රහ කරයි. ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා බලවත්ව ලග්නයේ තැන්පත් වීම හෝ ලග්නය දැකීමද සඳු හෝ බලය ලග්නයට ලැබීමද ශ්‍රද්ධා චරිතයද උපදවයි. කටක ලග්නය විශේෂයි.
බුද්ධි චරිතය :
බුද්ධි චරිතය හිමි අය කෑම කන විට බලන්නේ එහි ඇති රසය, ලස්‌සන හෝ පෙනුම නොව ගුණයයි. නියම වේලාවට නියමිත ස්‌ථානයකම ආහාර ගනී. කෑම කන විට මෙන්ම වෙනත් අවස්‌ථාවලදීද බුද්ධිමත් ලෙස කතා කරයි. වියදම් කරන විටද අරපිරිමැස්‌මෙන් වියදම් කරයි. ලද පමණින් සතුටුවන කෙනෙකි. ගමන් කරන විටද සංවරව පරීක්‍ෂාකාරීව ගමන් කරයි. කල්පනාකාරීව ගමන් කරයි. කාල සටහනකට අනුව වැඩ කරන කෙනෙකි. නිතර පොත්පත් කියවීමට කැමැත්තක් දක්‌වයි. ඉගෙනීමට නම් දුක් විඳීමටද කැමැත්තෙන් සිටී. ලොකුවට මුදල් ඉපයීමට ද කැමැත්තක් නැත. නිදා ගන්නා විටද හොඳින් සූදානම් වෙයි. නින්ද අඩු නැතිව උවමනා කරයි. පාන්දරම අවදි වන කෙනෙකි.බලවත් වූ බුධ ලග්නගත වීම නිසා බුද්ධි චරිතය හිමි අයෙකු බිහිවේ. කන්‍යා ලග්නයේ පළමු වැන්නේ මිථුන යේ පළමු වැන්නේ බුධ ශුභ ග්‍රහයෙකු සමග සිටීම හෝ දැකීම නිසා බුද්ධි චරිතයකු බිහිවිය හැකිය.විතර්ක චරිතයනින්දෙන් නිතර අවදි වෙයි. සමහරවිට එක තැනක සිට තවත් තැනකට ගොස් නිදාගනී. කිසිම වැඩක් වෙලාවට කරන්නේ නැත. නින්දේදී සිහිනෙන් දොඩවයි, දඟලයි. කෑම කන විටද පිළිවෙළක් නැත. එකක් සිතමින්, වෙනත් දෙයක් කරමින් තවත් දෙයක් කතා කරන්නෙකි. නිතර තර්ක විතර්ක කරයි. ලද දෙයකින් සතුටුවන කෙනෙක් නොවේ. ගමන් යන විටද සැලැස්‌මක් නැත. නිතර ඇඳුම් මෝස්‌තරද වෙනස් කරයි. නිතරම අන් අය සමග වාද භේද ඇතිකර ගනී. බුධ ග්‍රහයා විතර්කයට අධිපති වන අතර බුධ හෝ රාහු ග්‍රහයා පළමුවෙනි භාවයට තැන්පත් වීමෙන් හෝ එය දැකීමෙන් විතර්ක චරිතයකු උපදවයි.
ඉහත දක්‌වන ලද්දේ චරිත හය පිළිබඳව කෙටි නමුත් අත්‍යාවශ්‍ය කරුණු සහිත විස්‌තරයකි. මේ අතර රාග චරිතය හා ශ්‍රද්ධා චරිතයද, ද්වේශ චරිතය හා බුද්ධි චරිතයද මෝහ චරිතය හා විතර්ක චරිතයද සමාන ලක්‍ෂණ දක්‌වන නිසා හොඳින් පරීක්‍ෂා කර බලා තේරුම් ගත යුතු බව කියා තිබේ. බුදුරජාණන් වහන්සේ චරිත හඳුන්වා දී ඇත්තේ ඒ ඒ අයට සුදුසු භාවනා ක්‍රම නිර්දේශ කිරීම පිණිසය. මේ හැර ඔබ ඇසුරු කරන අයගේ චරිතය හඳුනාගත් විට ඇසුරු කිරීම පහසු වන්නේය. චරිතය අනුව භාවනා කරන ආකාරය පිළිබඳව වැඩි විස්‌තර සඳහා “සිංහල විශුද්ධි මාර්ගය” 157-170 පිටු බලන්න.