Biz Log
Classifields
Biz Log
Classifields

ඔබේ දරුවටත් රාහු ලබලාද?

අප රටේ මේ වන විට ග්‍රහයන්ට බියේ වෙව්ලන පළමු කණ්ඩායම බවට පත්ව ඇත්තේ අම්මලාය. වාසනාවකට මෙන් අපේ අම්මලාගේ කාලයේ අද මෙන් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය හෝ අද තරම් දේවාරූඪයෙන්ම සිටින නහුතයක් ‍ජ්‍යොතිෂ පුවත්පත් හෝ නොතිබු බැවින් ඔවුනට මෙබඳු කරදරයක් හිරිහැරයක් තිබුණේ නැත. දරුවන් රොත්තක් හදා වඩා ගැනීමට සිදුවූ බැවින් ඔවුන්ට එක් එක් දරුවාට ග්‍රහයන් බලපාන එක ගැන සෙවීමට කාලයක් තිබුණේ ද නැත. අවශ්‍ය විටක ගමේ ෙදෙවඥයා කරා ගොස් කරුණු දැනගෙන අවශ්‍ය දේ කළා මිස අද මෙන් අවුල් වියවුල් සදා ගත්තේද නැත.

වර්තමානයේදී ‍ජ්‍යොතිෂවේදීන්ටත් වඩා ග්‍රහයන් පිළිබඳ දැනුම තිබෙන්නේ දරුවන් පාසල් වියේ පසුවන අම්මලාටය. මොවුන්ගේ දැනීම නිසා ග්‍රහයින්ටත් වඩා දරුවනට කරදර කරන්නෝ අම්මලාය. මේ මව්වරුන් ඉතා හොඳින්ම දන්නෙ රාහු ග්‍රහයා පිළිබඳවය. මගේ වෘත්තීය අත්දැකීම් අනුව රාහු ග්‍රහයා පිළිබඳ විශාරදත්වයක් ලත් අම්මලා ද සිටිති.

ඔවුනට අනුව රාහු රස්තියාදුකාරයෙකි. බේබද්දෙකි. කුඩ්ඩෙකි. රාහුට ‍පොත පත පාසල පෙන්නන්නට බැරිය. එබැවින් රාහු ලැබූ දරුවන්ටද ‍පොත පත පාසල පෙනෙන්නට බැරිය. එනිසාම අම්මලාට රාහු පෙන්නන්ට බැරිය. මෙය ලියන මටද දැන් රාහු පෙන්නන්නට බැරිය. ඒ මටත් වඩා හොඳින් රාහු ගැන මෙබඳු ආටෝප රාශියක් කරුණු අම්මලා දන්නා බැවිනි. රාහු ලබා ඇති (හෝ ළඟදීම රාහු ලබන) කේන්ද්‍ර රැගෙන මා වෙත එන අම්මලාට රාහු ගැන උගන්වන එක රාහුට උගන්වනවාටත් වඩා අමාරු කාරියක් වී තිබේ.

“මෙයාට රාහු ලබල තියෙන්නෙ. ඉගෙන ගන්න එකක් නෑ නේද ?”

“මෙයාගේ කේන්දරේ බලල කිව්ව රාහු මෙයාට ඉගෙන ගන්න දෙන්නෙම නෑ කියල”

“මෙයාට රාහු නිසා මම දැන් හැම තිස්සෙම පස්සෙන්ම ඉඳගෙන ‍පොත්වල වැඩ කරවනව“

මේ මව්වරුන්ගේ ‘රුවන් වැකි’ කීපයකි. මෙහි තෙවැනි වැකියට අනුව ක්‍රියා කරන මව නිසැක ලෙසම තම දරුවාට ඉගෙනීම එපා කරවයි. එතැන රාහු ලෙස ක්‍රියා කරන්නේ මවමය.

රාහු පාපයට කැමතිය. හිතුවක්කාරීය. දඩබ්බරය. අධ්‍යාපනයට අකමැතිය. මේ රාහුගේ නිසග ගති ස්වභාවයයි. හෙවත් ප්‍රකටව පෙනෙන තත්ත්වයයි. ප්‍රසිද්ධිය පතා පින්කම් කිරීම, විශාල දිනුම් ලබාදීම, ජය ලැබෙනතුරු කාගෙන ඉදිරියට යාම, සමාජ සේවය සඳහා කැපවීම ආදිය ප්‍රකටව නොපෙනෙන ගුණාංගයි.

කිසිදු ග්‍රහයෙකු සර්ව සුබ හෝ සර්ව අසුබ නොවන බව මෙය කියවන ඔබ තේරුම් ගත යුතුය. පුද්ගලයා උපන් ලග්න රාශිය තුළ එම ග්‍රහයාට හිමි තැන ග්‍රහයා සිටින රාශිය භාවය එම ග්‍රහයාගේ දශාව ලබන කාලය සමස්ත කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අදාළ පුද්ගලයා උපන් කාලය දීපය දේශය කුලය (⋆නිවස) මව යන කරුණු මත ග්‍රහයෙකුගේ සුබ හෝ අසුබ තත්ත්වය තීරණය වේ.

බොහෝ වාණිජවේදී උපාධිධාරීන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන් බිහි කරන්නේ රාහුය. වාණිජවේදී උපාධිධරයින් වැඩිපුරම යොමු වන්නේ ව්‍යාපාර පරිපාලන අංශ සඳහාය. ව්‍යාපාරයක් යනු සංවේදී අයෙකුට සාර්ථකව කළ හැකි දෙයක් නොවේ. රාහුට මෙය ගැළපී යන්නේ එබැවිනි.

නීතිඥයාට ඇත්ත බොරුව ලෙසද බොරුව ඇත්ත ලෙසද ඔප්පු කිරීමට සිදුවෙයි. රාහුට මෙය අපූරුවට ගැළපේ. උසාවියේදී අඩි බිම හප්පා හරස් ප්‍රශ්න අසා සාක්කි කරුවන් නොමග යැවීම රාහු බලවත් වූ අයට සුළු දෙයකි.

කවුරු හොල්මන්වලට බිය වුවත් වෛද්‍යවරයා හොල්මන්වලට බිය නොවේ. ඔහු මළ මිනී සිය ගණනක් කපා කාය ව්‍යච්ජේදය උගනී. ශරීරය තුළ පෙනෙන පිළිකුල් කටයුතු කිසිවක් ඔහුට පිළිකුල් නොවේ. රාහු මේ සඳහා කදිමට ගැළපෙන ග්‍රහයාය. මා දන්නා පවුලක සිටින බටහිර වෛද්‍යවරු තිදෙනාම රාහුගේ දශා කාලයේ අධ්‍යාපනය සහ උපාධිය ලැබුවෝය. රාහුගේ දශාව ලැබූ සියලුම ළමයින් ව්‍යාපාරිකයන් නීතිඥයන් වෛද්‍යවරුන් වෙතියි යන නියමයක් මේ මගින් නොකියැවේ. රාහුගේ දශාව ලැබූ පමණින් කෙනෙකු විනාශ නොවේ යන්න මේ මගින් කියැවේ.

සමස්ත කේන්ද්‍රයේ ග්‍රහ බලයට අනුව අනාගත වෘත්තිකයා රාහු බිහි කරයි. සුබයයි සම්මත ග්‍රහයින් කරන්නේද එම කාර්යමය.

තම දරුවාට රාහු ලැබූ පමණින්ම අම්මලා නන්නත්තාර ‍ජ්‍යොතිෂවේදීන් හමුවී තීන්දු තීරණ නොගත යුතුය. දේවාල ගානේ ළමයින් කැටුව යමින් දේවාරූඪයෙන් විභාග සඳහා පිළිතුරු ලිවීමට හැකියයි ළමයින් මුලා නොකළ යුතුය. තම දරුවන් ආත්ම ශක්තියක් නැති දීනයින් නොකළ යුතුය.

රාහු ඇතත් නැතත් ළමයා අධ්‍යාපනය තුළ බලගතු ලෙස අකර්මණය වේ නම් පළමුව ළමයා රෝහලක ළමා මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට එම වෛද්‍යවරයා ළමයට බලපා ඇති මෙලොව පාප කර්ම අවබෝධ කරගෙන ඒවා ඉවත් කිරීමට ක්‍රියා කරනු ඇත. ඉන්පසු ඔබ බුද්ධිමත් ‍ජ්‍යොතිෂ වේදියෙකු (කිසිදු දේවාලයකට ඔබව දක්කන්නේ නැති කෙනෙකු) හමුවී ළමයාගේ එලොව පාප කර්ම තිබේ නම් හැඳිනගෙන ඊට සුදුසු කුසල කර්ම දරුවා ලවා කරවීම ඉතාම සුදුසුය.

‍ජ්‍යොතිෂවේදී, ආයුර්වේද වෛද්‍ය අනෝමා පී. ඈපා සෙනෙවිරත්න

Share This Article