Biz Log
Classifields
Biz Log
Classifields

සිතට වදයක් කර නොගෙන රාහු කාලය සමරන්නේ මෙහෙමයි


නක්ෂත්‍රය ආදිය පිළිබඳව විශ්වාසයක් නැති බව ලොවට පවසන සමහර පුද්ගලයන් පවා තමන්ගේ ඉතා සුබ කටයුතු, වැදගත් ගමන් ආදිය රාහු කාලය මඟහැර සිදුකිරීමට හොර රහසේ හෝ පෙළඹෙන අවස්ථා තිබේ. ඒ අතර ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් ප්‍රධාන පෙළේ විනිසුරුවරුන් ආදිය ද වෙති. මේ අතර නාන්න යන්නට පෙර පවා රාහු කාලය එළඹී ඇතිදැයි විමසිලිමත්වන අන්ධභක්තිකයන්ද නැතුවා නොවේ.

මේ ආකාරයට රාහු කාලය පිළිබඳ සැලකිලිමත් වන්නට මිනිසුන් පෙළඹී සිටින්නේ වසර දහස් ගණනකට පෙර සිටය. එදා සිටම ඒ ඒ දිනට නියමිත රාහු කාලය එකසේ නොවෙනස්ව පවතින්නකි. එතරම් දීර්ඝ කාලයක පටන් මිනිසුන්ගේ විශ්වාසයක් වන නිසාත් රාහු කාලය යන්න ෂි වරුන්ගේ මතයක් යැයි වන පිළිගැනීම නිසාත් බොහෝ අය රාහු කාලය පිළිබඳ සැලකිලිමත් වන ආකාරයක් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමින් පවා ප්‍රකාශයට පත් කෙරෙන රාහු කාලය භාරතීය ‍ජ්‍යොතීර්වේදය මත පදනම් වූවකි. තමන් ශ්‍රී ලාංකිකයන් තුළ මෙන් රාහු කාලය පිළිබඳ ප්‍රබල විශ්වාසයක් ඉන්දියානුවන් තුළ නැත. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ඇතැම් ජන කොටස් විසින් අනුගමනය කරන රාහු කාලය අප රටේ රාහු කාලයට සමාන වීමද විශේෂත්වයකි. සාමාන්‍යයෙන් ‍ජ්‍යොතිෂයේ දී සම්මත පැය ගණන් අනුව සැකසී ඇති ඔර්ලෝසු වේලාව හා හෝරා, අඩ හෝරා වශයෙන් එලෙසින්ම නොගැලපුණද මෙම රාහු කාලය දිවා කාලයට පැය එකහමාරක් වශයෙනුත් රාත්‍රී කාලයට පැය එකහමාරක් වශයෙනුත් ගණනය කෙරෙනුයේ ඔර්ලෝසු වේලාවේ හෝරා සහ අඩහෝරා හා සමාන්තර බවක් පළ කරමිනි. එය මතු දැක්වෙන සටහනින් වඩාත් පැහැදිලි වනු ඇත.

රාහු කාලය

  • ඉරිදා 04.30 - 06.00 දක්වා
  • සඳුදා 07.30 - 09.00 දක්වා
  • අඟහරුවාදා 03.00 - 04.30 දක්වා
  • බදාදා 12.00 - 01.30 දක්වා
  • බ්‍රහස්පතින්දා 01.30 - 03.00 දක්වා
  • සිකුරාදා 10.30 - 12.00 දක්වා
  • සෙනසුරාදා 09.00 - 10.30 දක්වා

ඒ ආකාරයට රාහු කාලය පිළිබඳ සැලකිලිමත් වන අය සුබ කාර්යයක් ආරම්භ කරන්නට යෑමේදී අසුබවාදී සිතුවිලිවලින් මිදෙමින් ශක්තිමත් මනැසකින් හා දැඩි විශ්වාසයකින් එම කටයුත්ත ආරම්භ කිරීමට මානසිකව සූදානම් විය හැකි නිසා රාහු කාලය පිළිබඳ සැලකිලිමත් වීම යහපත්ය.

එහෙත් තවත් පැත්තකින් රාහු කාලය පිළිබඳ අනවශ්‍ය ආකාරයට සැලකිලිමත් වෙමින් එහිම එල්බ ජීවත් වන අයව කවර ආකාරයෙන් හෝ රාහු කාලයක යම් කටයුත්තකට අත ගැසීමට සිදුවීම මානසිකව අසුබවාදීව බලපෑම් හේතුවෙන් ප්‍රතිඵලයද යහපත් නොවිය හැකිය.

රාහු ග්‍රහයා කොතැනක සිටියද ලෝකයේ සිදුවන බොහෝ දේ අපට වෙනස් කළ නොහැකිය. විදේශ රැකියාවකට පිටත්ව යන්නට සුබ වේලාවක් ජ්‍යොතිර්වේදියෙකු ලවා සාදා ගත හැකි වුවද විදේශයට යන ගුවන් යානය පිටත් වන්නේ රාහු කාලයේදී නම් ‍ජ්‍යොතිර්වේදියාට කළ හැකි දෙයක් නැත. ගුවන් යානය පිටත් වූයේ රාහු කාලයේදී යන අසුබවාදී සිතුවිල්ලම තම අරමුණු ජයගන්නට බාධාවක් විය හැකිය.

රාහු කාලයට අනුව කටයුතු කිරීම තනි පුද්ගල වශයෙන් හෝ තම තමන්ට නිවෙස් තුළ සිදු කිරීමේ වරදක් නොවුවද රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බලපාන කටයුතු සම්බන්ධයෙන් රාහු කාලය පිළිබඳ සැලකිලිමත් වීම කළ හැකි දෙයක් නොවේ.

කාටත් වඩා ‍ජ්‍යොතිෂය පිළිබඳ අසීමාන්තිකව සැලකිලිමත් වන්නේ දේශපාලනඥයින්ය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවකදී අදහස් පළ කළ හිටපු මැතිවරණ කොමසාරිස් සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ අප රටේ මැතිවරණ පැවැත්වීමේ දී රාහු කාලය පිළිබඳව සැලකිල්ලට ගන්නා මෙන් ඇතැම් දේශපාලනඥයන් ගෙන් තමන්ට ඉල්ලීම් ලැබුණු බවකි. තමන් එම යෝජනාව උපහාසාත්මකව බැහැර කළේ තම දෙපාර්තමේන්තුව ඔවැනි අන්ධ විශ්වාස ඉඳුරාම බැහැර කරන බවකි. අපේ රටේ මැතිවරණවලදී ග්‍රහයන් ඡන්දේ ඉල්ලන්නේවත් ඡන්දේ දෙන්නේවත් නැති නිසා ඡන්දය සම්බන්ධයෙන් ග්‍රහයෝ ගැන හිතන්න උවමනා වුණේ නෑ ඔහු කීය.

නමුත් වැදගත් විභාග පැවැත්වෙන දිනයන්හි දරුවන්ට විභාග සඳහා පිටත්ව යන්නට සුබ වේලාවන් මෑතක පටන් ජනමාධ්‍ය ඔස්සේ වෙළෙඳ ප්‍රචාරයක් ආකාරයට සිදුවන්නකි. එවැනි සුබ වේලාවන්හි නිවසින් පිටවීම සියලු දරුවන්ට එකසේ සිදුකළ හැකි නොවේ. එලෙස ප්‍රචාරය කරන සුබ වේලාවන් පිළිබඳව සැලකිලිමත් වන්නට යෑමෙන් සැහැල්ලු මනැසකින් යුතුව මුහුණ දිය යුතු අවස්ථාවකට කලබලකාරීව හා අවුල්ව ගිය මනසකින් යුතුව ඉදිරිපත් වීමට පවා සිදුවිය හැකිය.

අප දන්නා දා පටන් සතියේ දින හතේ දිවා රාත්‍රී දෙකෙහි රාහු කාලය හැමදාමත් එකම වේලාවකි. එහෙත් රාහු කාලය තීරණය විය යුත්තේ හිරු උදාවට අනුවය. හැමදාමත් හිරු උදාවන්නේ එකම වේලාවට නොවෙද්දී රාහු කාලය එලෙස එකම වේලාවකට යෙදීම ශාස්ත්‍රීය වශයෙන් බරපතල වරදකි. හිරු උදාව උදෑසන පහයි තිහට සිදුවන කාලවලදීත් උදෑසන හයට සිදුවන කාලවලදීත් රාහු කාලය එකම නිශ්චිත පැය එකහමාරකට සීමාවිය හැකිද ? රාහු කාලය තිතට ක්‍රියාත්මක කරන අය මෙවැනි කරුණු පිළිබඳවද සිතිය යුතුව තිබේ.

රාහු කාලය පිළිබඳ සැලකිලිමත් වන අයට සතියේ දින හතට නියමිත රාහු කාලය බලා ගන්නට සිදු වන්නේ බිත්තියේ එල්ලා ඇති ලිතෙන් විය හැකිය.

එවන් අයට බිත්ති ඔරලෝසුවෙන් වෙලාව බලා ගන්නා ආකාරයට රාහු කාලයද බලාගත හැකි වන ආකාරයට රාහුකාල ඔරලෝසුවක් නිර්මාණය කිරීමට පාසල් සිසුවියක් සමත් වී තිබේ. අවුරුදු පහළොවක යෞවනියක් වන ඇය ගෝනකුඹුර මහ විදුහ‍ලේ දහවන ශ්‍රේණියේ තරුෂි විදුෂිකා නම් දියණියකි. රාහු කාලය පිළිබඳව සැලකිලිමත් වන අයට නොබෝ දිනකින් ඔරලෝසුවෙන් වෙලාව බලා ගන්න තරම් පහසුවෙන් රාහු කාලය බලා ගන්නට අවස්ථාව ලැබෙනු ඇත. ඒ පුරාතන ‍ජ්‍යොතිර්වේදියන් නූතන විද්‍යාවත් අපූර්ව අන්දමට සංකලනය කර නව නිපැයුමක් නිර්මාණය කරන්නට තරම් ඇය දක්ෂ වූ නිසාය.

රාහු කාලය හෝ වෙනත් ඕනෑම දෙයක් විශ්වාස කිරීමේ හෝ නොකිරීමේ නිදහස ඕනෑම පුද්ගලයෙකු සතු වේ. එහෙත් ගැටලුව වන්නේ බොහෝ පිරිස් මේවා දෙස විචාරශීලීව හා පුළුල්ව නොබැලීමය. එහි ප්‍රතිඵලය බරපතල සමාජ ගැටලුව නිර්මාණය වෙමින් මිථ්‍යා අවිද්‍යාව හා ව්‍යාජ විද්‍යාව ප්‍රචලිත වීම විය හැකිය.

පුරාණ වාස්තු විද්‍යා ගවේෂක ක්‍රිෂ්ණමූර්ති පද්ධති පර්යේෂක ‍ජ්‍යොතිර්වේදී, වෑවලගේ විමලසිරි අනාවරණය කරයි

උත්පලා සුභාෂිනී ජයසේකර

Share This Article