කසාද කඩන මරයෝග විසිපොරොන්දම් ගැලපුණත් විවාහය අවුල්


විවාහය ජීවිතයේ දෙවැනි ඉපදීම යැයි සැලකේ. විවාහය එක් වරක් පමණක් සිදුවන අතර දෙවරක් විවාහ වන අය බොහෝ අඩුය. ඇතැම් විවාහ දික්කසාදවලින් කෙළවර වන අතර තවත් කොටසක් කාලත්‍රයා මියයාම නිසා අවසන් වෙයි. එසේම සමහරුන් විවාහ වූ පසු විවිධ බාධක හිරිහැර ගෙන දෙන අතර බොහෝ අමාරුවෙන් විවාහ ජීවිත ගත කරන අයද ඕනෑ තරම් සිටී. ඔවුහු සමාජයට සැඟවී දුක් විඳිමින් සිටිති. ඒ නිසා විවාහ වීමට පෙර ග්‍රහ තත්ත්වය ගැනද සොයා බලා තීරණ ගැනීම ඉතාම වැදගත් වේ.

බොහෝවිට සිදුවන්නේ විවාහයේදී දෙදෙනකුගේ පොරොන්දම් ගැලපීම ගැන පමණක් සොයා බලා තීරණ ගැනීමයි. එහෙත් එලෙස පොරොන්දම් බලා සිදුකරන විවාහ සියයට සියයක් සාර්ථක නොවේ. පොරොන්දම් විස්සෙන් විස්සම ගැලපුණද පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මරයෝග මෙන්ම, ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මරයෝග පවතී නම් එම විවාහ කෙසේවත් සාර්ථක නොවේ. එහෙත් ඛේදනීය තත්ත්වය වනුයේ විවාහ අපේක්ෂා කරන්නන් මේ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීමයි. මෙලෙස කේන්ද්‍රවල මරයෝග පිහිටියද එම දෝෂ භංගවන පිහිටීම්ද එම කේන්ද්‍රවල තිබිය හැකිය. ඒ නිසා බැලූ බැල්මට මරයෝග ඇතැයි කේන්ද්‍ර ඉවත දැමීම නොකර එම මරයෝග භංගවන පිහිටීම් තිබේද යන්නද සැලකිල්ලට පාත්‍ර කළ යුතුය. තමන්ට ගැලපීමට දෙන කේන්ද්‍රවල පොරොන්දම් පමණක් නොබලා මරයෝග හා ඒවායේ භංග යෝගද ඇතිද යන්න සුපරීක්ෂාකාරීව සොයා බැලීම ජ්‍යොතිෂවේදියාගේ යුතුකම වේ.

ඔබගේ දැනුවත්වීම පිණිස එවැනි යෝග කිහිපයක් ගැන දක්වමු. 

  • කේන්ද්‍රයේ 7 අධිපතියා පාපයකු වී කුජ - ශනි සංයෝගය 7 හෝ 8 වැන්නේ තිබේ නම් එය මාරක යෝගයකි.
  • රාහු 7 වැන්නේ 7ට අධිපති ග්‍රහයා රවීට සංයෝගව සිටින විට සෙනසුරු දකී නම් එයද මාරක යෝගයක් වේ.
  • යම් ස්ත්‍රී කේන්ද්‍රයක 1-7 යන ස්ථාන දෙකේම පාප ග්‍රහයන් සිටීමත්, 8 හා 6හි පාපීන් සිටීමත්, අවසඳු සිටීමත් 8 වැන්නේ සඳු සමඟ සිකුරු සතුරුව සිටීමත් මාරක යෝගයකි.
  • ශුභ ග්‍රහයකුට නොපෙනී 8 වැන්නේ මේෂ, හෝ වෘශ්චික සිටියදී එම ස්ථානයේම රාහු සිටීම සැමියාට මාරක වේ.
  • 7 අධිපති පාප පීඩිතව 12 වැන්නේ කුජ - සිකුරු සංයෝගය 10 වැන්නේ සිදුව ඇතිනම් එයද සැමියාට මාරක යෝගයක් වේ.
  • යම් කේන්ද්‍රයක පාප ග්‍රහයන් ලග්නයේද, 7 වැන්නේද සිටින කාන්තාවන්ගේ ස්වාමිපුරැෂයාටද මාරක වේ.
  • පාප ග්‍රහයන්ට පෙනෙමින් කුජ 7 සිටීම වැන්දඹු යෝගයක් ලෙස සැලකේ.
  • ලග්නය 2 හා 6 වැන්න අධිපති පාප සංයෝගව 7හි සිටීම පුරැෂයාට යහපත් නැත.
  • 2, 7 හා 10 අධිපති 7 වැන්නේ සංයෝගව සිටියේ නම් ඒ අයට අයහපත්ය.
  • මේෂ හෝ වෘශ්චික රාශියක සඳු, පාප ග්‍රහයන්ට මැදිව සිටීම අශුභ යෝගයක් වෙයි.
  • 7 වැන්නේ රවි - රාහු යන ග්‍රහයන් සංයෝගවීම නිසා පුරුෂයාට වෙනත් කාන්තාවන් වෙනුවෙන් තම මුදල් වැයකිරීමට සිදුවනු ඇත.

මෙලෙස අපල ගෙන දෙන ග්‍රහයෝග සඵල කරගැනීම සඳහා විවිධ වත්පිළිවෙත් කිරීමට දක්ෂ ජ්‍යොතිෂවේදීන් සිටින නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීමටද විවාහක යුවලවලට හැකිවේ.

ජ්‍යොතිෂවේදී සමන් කළුආරච්චි
උපුටා ගැනීම දේශය පුවත්පත

Share This Article

උපන් නැකැතට ගැළපෙන නැකැත

ජන්මියකු උපත ලබන මොහොතේ උදාව තිබූ නැකැත එම ජන්මියාගේ උපන් නැකැත වෙයි. මෙම උපන් නැකැත අනුව ජීවිත පලාපල ප්‍රකාශ කළ හැකිය....

සිතට වදයක් කර නොගෙන රාහු කාලය සමරන්නේ මෙහෙමයි

නක්ෂත්‍රය ආදිය පිළිබඳව විශ්වාසයක් නැති බව ලොවට පවසන සමහර පුද්ගලයන් පවා තමන්ගේ ඉතා සුබ කටයුතු, වැදගත් ගමන් ආදිය රාහු කාලය මඟහැර...

ජන්ම පත්‍රයක අංක දොළහෙන් කියැවෙන දේවල්

යමෙක්‌ මව් කුසින් මෙලොව උපත ලැබූවිට (ආශ්වාසයක්‌ ලද විට) නැගෙනහිර අහසේ ඒවනවිට උදාවී තිබුණ රාශිය (ලග්නය) රාශි 12 න් එකකට අයත්...

පෙම්වතාගේ පෙම්වතියගේ ලග්නය ඔබේ ලග්නයට ගැළපේද

මිනිස් වර්ගයාගේ පැවැත්ම සඳහා විවාහය නැතහොත් ස්ත්‍රී -පුරුෂ සම්බන්ධතාව අත්‍යවශ්‍යම දෙයකි.  එහෙත් එය සමාජ සම්මත නීතිරීති අනුව සිදුවිය යුතුය. මිනිසා ශිෂ්ටත්වයට පත්වීමත් සමඟම...

කටක ලග්නයට හිමි රැකියාව

කටක ලග්නය හිමි ඔබගේ ලග්න අධිපතියා සඳු ග්‍රහයා වන අතර දහවැන්න වන කර්මස්ථානය නියෝජනය කරන ග්‍රහයා අඟහරුයි. මේෂ රාශිය දහවැන්න වන...

කේන්දරේ බලන්නේ ඇයි?

"මම නම් කවදාවත් කේන්දර බලන්නෙ නෑ." අයෙක්‌ කියයි."කේන්දර බැලුවොත් තමයි සේරම අපල - අපල දැන ගන්න කේන්දර බලල වැඩක්‌ නෑ.?" මම...