Biz Log
Classifields
Biz Log
Classifields

වාසනාවන්ත නිවසක සාර්ථක දිවියකට වාස්තු උපදෙස් 31ක්


  • නිවසේ බ්‍රහ්ම පාදය පීඩා නොවිය යුතුයි
  • නිවස ඇතුළේ තොප්පි, කුඩ, පාවහන් පරිහරණය නුසුදුසුයි
  • ප්‍රධාන දොරෙන් තෙත රෙදි, මත්පැන්, මස්-මාළු, අවි-ආයුධ, කෘමිනාශක නිවස ඇතුළට ගෙනෙන්න එපා

ශ්‍රියා කාන්තාව බෙලි වනයට, කෙසෙල් මලට, කන්‍යාවියන් ළඟට, කුඤ්ජරයට, වෘක්ෂයට, තෝමරයට, පටපිළියට මෙන්ම අලංකාර නිවසටද වඩින්නේ යයි අග්නි පුරාණයේ සඳහන් වේ. ඔබගේ නිවස එසේ ශ්‍රියා කාන්තාව වඩින තැනක් බවට පත්කර ගැනීමට නම් එය එය අනිවාර්යයෙන් වාස්තු දෝෂවලින් තොර එකක් විය යුතුය.

මහා බ්‍රහ්මයා විසින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාටත්, ඔහු විසින් මය නම් ඍෂිවරයාටත් එම සෘෂිවරයා විසින් පසුව මනුෂ්‍ය වර්ගයාටත් උගන්වන ලද ශිල්පයක් වන වාස්තු විද්‍යාවෙන් සිදු කරන්නේ විශ්වයේ ඇති ග්‍රහ වස්තූන්ගේ අන්තර් සම්බන්ධතා තුළින් ඇතිවන අසුබතා මඟ හරවාගෙන අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන සතර වැදෑරුම් කාර්යන්වල යහපත් ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා යම් රීතියක් අනුව නිවසක් නිර්මාණය කර ගැනීමයි. ඒ තුළින් නිවසට ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලැබී නිවැසියන් දියුණු වීම, ආර්ථිකව ශක්තිමත් වීම, නීරෝගිමත් වීම ආදිය ඇති වේ. නිවැසියන් අතර අන්‍යෝන්‍යව බැඳීම් වර්ධනය වේ.

වාස්තු විද්‍යානුකූලව නිවසක් සෑදීමේදී මුලින්ම උපන් නැකත් අනුව නිවස වර්ග කරගෙන ගෘහ දිශා චක්‍රය අනුව හා නිවසේ වෙසෙන්නන්ගේ උපන් නැකත් අනුව නිවස සැලසුම් කර ගත යුතුය. ඊළඟට විශේෂයෙන් දිශාගත කිරීම් නිවැරදිව කළ යුතුය. විශ්වකර්ම පඬිවරයා සිය ගෙබිම් ශාස්ත්‍රය නම් ග්‍රන්ථයේ,

“ඊශාන්‍යං දේවතාගේහං
පූර්වස්‍යං ස්නාන මන්දිරම්
ආග්නෙය්‍යාං පාක්‍යදනං
භාණ්ඩාගාර මුත්තරෙ”

යන්නෙන් ඊශාන දිශාවේ දේවතා ගෙයද, නැගෙනහිර දිශාවේ නාන ගෙයද, ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙයද, උතුරු දිශාවේ බඩු තබන ගෙයද සෑදිය යුතු යැයි දක්වා ඇත. ශ්‍රියා කාන්තාවගේ බැල්ම වැටීමට නම් නිවසේ උතුර, ඊසාන, නැගෙනහිර යන දිශා ඉතා පිරිසිදුව තබා ගත යුතුය. උතුරු දිශාවෙන් සතුට, සමගිය, සෞභාග්‍යයත් ඊශාන දිශාවෙන් මානසික සහනය, ධනය හා ජලයත් නැගෙනහිර දිසාවෙන් ආයුෂය, ධනය, ආර්ථික ලාභ ලැබෙන බවත් පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. නිවසට ශක්තිය ආරෝපණය වන උතුරු, ඊසාන, නැගෙනහිර දිශා අපිරිසිදු වීම නිවසට ඉතාම අසුබදායකය. එය ශ්‍රී දේවිය පලවා හැර මූ දේවිය නිවසට ළඟා වීමට හේතුවකි.

නිවසේ බ්‍රහ්ම පාදය පිහිටන ස්ථානය පීඩා නොවී ගෞරවනීය ලෙස පැවතීම, දොරවල් සහ ජනෙල් නියමිත සංඛ්‍යා අනුව තිබීම, ප්‍රධාන දොර නියමිත පාදයේ තැබීම සහ වේධ දෝෂයන්ට හසු නොවීම, වහලය දෝෂ රහිත වීම නිවසක ප්‍රධාන වශයෙන් නිවැරදි විය යුතු වාස්තු විද්‍යාත්මක කරුණු වේ.

නිවසේ අත්තිවාරම් දමන මොහොතේ මංගල කුඤ්ඤය ගැසීම වාස්තු නාග චක්‍රය අනුව සිදු කළ යුතු අතර එම අවස්ථාවේ නිවැරදි වාස්තු පිළිවෙත් මැනවින් ඉටුකළ යුතුය.

නිවාස සැලසුමේ සහ ඉදිකිරීමේ වාස්තු විද්‍යාත්මක කරුණු මෙන්ම අප විසින් සිදු කරන ඇතැම් ක්‍රියා නිසා මූ දේවියගේ බැල්ම වැටෙන අවස්ථා ඇත. නිවසට සෙත් ශාන්ති කර ගන්නේත්, කොඩිවින කරගන්නේත් එම නිවසෙහි වෙසෙන නිවැසියන්මය. දහවල් කාලයේ ජනෙල් කිසි විට වසා නොතැබිය යුතු අතර සියලුම ජනෙල් විවෘත කර වාතාශ්‍රය නිවස තුළට ඒමට සැලැස්විය යුතුය. නිවසේ ඇති ගෘහ භාණ්ඩ සහ වහලේ මකුළු දැල්, දූවිලි ආදිය ඉවත් කර දිනපතා පිරිසිදු කළ යුතුය. ප්‍රේත කොට්ඨාස මකුළු දැල්, දූවිලි ආදිය ඇති අපිරිසිදු ස්ථානවලට ප්‍රිය කරන බැවින් එවැනි නිවෙස්වලින් ශ්‍රී දේවිය පලා යයි. නිවස තුළ භාවිතයට නොගන්නා පරණ බඩු නොතැබිය යුතු අතර දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද නිවස අඳුරුව නොතැබිය යුතුය. නිවස තුළ තැනින් තැන පාවහන්, කොසු, ඉදල් ආදිය තැබීමද නොකළ යුතුය.

නිවසේ ප්‍රධාන දොරෙන් හෝ ජනෙල්වලින් කෙළ ගැසීම නොකළ යුතුය. සරම කැහැපට ගසා ප්‍රධාන දොරෙන් ඇතුළුවීමද, ප්‍රධාන දොරෙන් තෙත රෙදි රැගෙන ඇතුළු වීමද, නිවස අතුගා එකතු වන කුණුරොඩු නිවසේ ප්‍රධාන දොරින් ඉවතලෑමද, අවි ආයුධ, හිස් භාජන, මත්ද්‍රව්‍ය, කෘමි නාශක, පෙට්‍රල්, භූමිතෙල් ආදිය ප්‍රධාන දොරෙන් ගෙට ගැනීමද නොකළ යුතුය. නිවස තුළ පාවහන්, තොප්පි, කුඩ ආදිය භාවිත නොකළ යුතුය.

නිවසේ හිස් මිරිස් ගල ඇඹරීම කිසි විට නොකළ යුතු අතර තරහෙන් මිරිස් ඇඹරීම ද නොකළ යුතුය. බාල්ක, කුරුපාවලට කෙළින් ගෘහ භාණ්ඩ තැන්පත් කිරීමද ලුණු පොල් කටුවෙන් ලුණු රැගෙන අන් අයට දීමද, ලුණු පොල් කටුව හිස් කිරීමද නොකළ යුතුය. ශබ්ද නැඟෙන ලෙස ජනෙල්, දොරවල් ආදිය විවෘත කිරීමද, ළිපේ අළු අස් නොකර දිගටම තැබීමද නොකළ යුතුය. නිවසින් පිට ඇති බුදු මැඳුරේ ආලෝකය ප්‍රධාන දොරින් නිවස තුළට වැටීමද අසුබදායකය.

එමෙන්ම ගෙවත්තට නිතර සූර්යා ලෝකය වැටීමට සැලැස්වීම, ගෙවත්ත සුවඳවත්, අලංකාර මල් වවා දර්ශනීයව පවත්වා ගැනීම, කටු සහිත හා කිරි සහිත ගස් නිවස ඉදිරිපිට නොවැවීම, කරාමවලින් වතුර කාන්දු වීමට ඉඩ නොතැබීම, අපිරිසිදු ජලය ගෙවත්තේ සෑම තැනම ගලා නොයාම, ළිඳ හා ළිඳ අවට ඉතාම පිරිසිදුව තබා ගැනීම ආදියෙන් මූ දේවිය පලවා හැර ශ්‍රියා කාන්තාවගේ ඇල්ම බැල්ම නිවසට ලබාගත හැකි වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යාවේදී විදුහල්පති, දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස
උපුටා ගැනීම සිළුමිණ

Share This Article