Biz Log
Classifields
Biz Log
Classifields

භාර්යාව රෝගී කරන නිවෙසේ වාස්තු දෝෂ


“ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා – ඒ හිරු කිරණේ නැණ මල් පොඩි පිපුණා” යන ජනප්‍රිය ගීතය අප සියලු දෙනා අසා ඇත්තෙමු. ඒ අනුව හිරු උදාවන්නටත් පළමුව අවදිව ආදරණීය මව හෝ බිරිය මුලින්ම පිය නඟන්නේ නිවසේ මුළුතැන් ගෙයටයි. අවසානයේ ඇය රාත්‍රී නින්දට යන්නේද මුළුතැන්ගෙයි සියලු කුදු මහත් කටයුතු අවසන් කිරීමෙන් පසුවයි. මේ අනුව නිවසේ මුළුතැන්ගෙයි දෝෂ පැවතුණුහොත් එහි බලපෑම වැඩි වශයෙන් ලැබෙන්නේ නිවසට ජීවය දෙන මුළුතැන්ගෙයි වැඩි කාලයක් ගත කරන බිරියටයි.

නිවසේ තේජෝ ගුණය පවතින මුළුතැන්ගෙය අනිවාර්යයෙන්ම ගිනිකොන දිශාවේ ඉදි කළ යුතු අතර එය වෙනත් දිශාවක පිහිටීම හෝ ගිනිකොන දිශාව ශූන්‍ය වීම බිරිය රෝගී වීමට හේතු වෙයි. නිවසේ මුළුතැන්ගෙය පහතින් පැවතීමත්, නිරිත හෝ ඊශාන දිශාවේ පැවතීමත්, ගිනිකොන දිශාවේ වෙනත් ඉදිකිරීම් පැවතීමත් බිරියගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට, හදිසි මරණ ඇතිවීමට, විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇතිවීමට හේතු වෙයි. වාස්තු පුරුෂයාගේ හිස තිබෙන දිශාව ලෙස සැලකෙන ඊශාන දිශාවේ මුළුතැන් ගේ පිහිටීම බිරිය රෝගී වීමට හේතුවකි. එවිට ඇයට හිස ආශ්‍රිත රෝග පීඩා ඇතිවිය හැකි අතර ඒවා බොහෝවිට කල් පවතින රෝග විය හැකිය. ඊශාන දිශාවේ අපද්‍රව්‍ය වළවල් පැවතීම ආදිය තුළින් ඊසාන දිශාව අපිරිසිදු වීම සෘජුවම බිරියගේ සෞඛ්‍යට අයහපත් බලපෑම් ඇති කරයි. මුළුතැන්ගෙයි පෝරනුව මත ජල ටැංකිය තැබීමද ඉතාම අසුබය. විශේෂයෙන් එවිට බිරියට මානසික පීඩා නිතර ඇති වේ. ආපෝ බලය හා තේජෝ බලය එකට එක්වීමෙන් ගොඩනැ‌ෙඟන අසුබ ශක්තිය ඊට හේතු වේ.

ඊශාන දිශාවෙන් නිවසට ඇතුළු වන විශ්ව ශක්ති කදම්බ ආරක්ෂා කරන්නේ නිරිත දිශාවයි. එබැවින් නිරිත දිශාවේ මුළුතැන්ගෙය පිහිටීමෙන් භාර්යාව නිතර රෝගී විය හැකිය. එපමණක් නොව එය දරු ඵල අහිමි වීමටත්, නිතර අඬ දබර ඇති වී විවාහ ජීවිතය දෙදරා යාමටත් ප්‍රබල හේතුවක් වේ. ඒ ආකාරයෙන්ම ළිඳ හෝ වැසිකිළි වළ නිරිත දිශාවේ පැවතීමද නිවසේ ස්ත්‍රීන්ට ඉතාමත්ම අසුබදායකය.

මුළුතැන්ගෙයි දොර කෙළින් වැසිකිළි වළ පැවතීම බිරිය අසනීපව එක්තැන් වීමට තරම් ප්‍රබල හේතුවක් වෙයි. ඒ ආකාරයෙන්ම ළිඳ දොර කෙළින් පැවතීමද අසුබදායකය. එමෙන්ම ළිඳ දකුණු දිශාවේ පැවතීමද භාර්යාවට විශේෂයෙන් අසුබදායකය. නිවසේ සාලය තුළ ආහාර පිසීම ද බිරියට අසුබ ඇති කරන කාරණයකි.

නිවස සමචතුරස්‍රාකාරවීම හෙවත් දිග පළල සමානව තිබීමේ අසුබ බලපෑම වැඩි වශයෙන් එල්ල වන්නේද භාර්යාවටය. අවම වශයෙන් නිවසේ දිග හා පළල අතර වෙනස අඩි හයක් වත් තිබිය යුතුය. එම දෝෂය දරු ඵල කෙරෙහි බලපෑම් ඇති කරයි. නන්ද වර්ගයේ හෙවත් නැ‌ගෙනහිරට සහ දකුණට දොරවල් තබා ඇති නිවෙස් වලද, ස්ත්‍රීන්ට බොහෝ කරදර විපත් ඇති වේ. පර්ජන්‍ය පාදයේ දොර තැබීමද ඒ ආකාරයෙන්ම අසුබය. එය විශේෂයෙන් දරු ඵල අහිමි වීමට විවාහ බාධා ඇති වීමට බලපායි.

නිවසේ ඉදිරිපස ප්‍රධාන දොර ඇති දිශාවටම මුළුතැන්ගෙයි දොර තැබීමද භාර්යාවට ඉමහත් දෝෂ ඇති කරන හේතුවකි. විශේෂයෙන් එය ඇයගේ ස්නායු ආබාධවලට හේතුවක් වෙයි. නිවසේ විකර්ණ රේඛාව කැපෙන ආකාරයට පෝරනුව ඉදිකිරීමද අසුබය.

පෝරනුවට ඉතා සමීපව ජල බේසම ඉදිකිරීම සුබ නොවන අතර ඒ දෙක අතර දුර අවම වශයෙන් අඩි හයක් වත් විය යුතුය. පෝරණුව සහ සෝදන බේසම එකම කොන්ක්‍රීට් ලෑල්ලට සම්බන්ධ කිරීමද අසුබය. ගිනිකොණ දිසාවේ මුළුතැන්ගෙයි ලිප දැල්විය යුත්තේ නැ‌ගෙනහිර දිශාව බලාගෙනය.

ජ්‍යෝතිෂවේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස
උපුටා ගැනීම සිළුමිණ

Share This Article