ඔබටත් නොදැනී ගෙට රිංගන වාස්තු දෝෂ…
අපේ දේශීය සාම්ප්‍රදායික පාරම්පරික මහා වාස්තු විද්‍යාවේ ආරම්භය කෙදිනක දැයි සොයා බැලීම අතිශයින්ම අපහසු වේ. ඉපැරැණි ඍෂිවරුන් දහඅට දෙනකු ලොවට ප්‍රකාශ කර ඇති අන්දමට එදා සිට මේ දක්වාම නිවෙස් ඉදිකිරීමේදී විවිධ හැඩ තල රිද්ම රටා මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් හරහා කෙරෙන බැව් පැහැදිලිය.
ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය සහ බ්‍රහ්ම පාදය ලෙසින් කොටස් හතරකි. මේවා බෙදා වෙන්කිරීමට ඇති දුෂ්කරතාවක්ද පැනනඟී. භූමිය ආශ්‍රිතව යම් යම් වාස්තු දෝෂ අඩුපාඩුවක් ඇතිවූවත් ඉහළ ආකාශ ස්ථරයේ එයට කිසිදු බලපෑමක් ඇති නොවේ. විශේෂයෙන්ම වාස්තු පුරුෂ භූමි ආදී ක්‍රමවේදයන් හරහා පැනනඟින ඇතැම් ගැටලුය.
කෙසේ වෙතත් නිවෙසක් ඉදිකිරීමේදී බ්‍රහ්ම පාදය හෙවත් අති පාරිශුද්ධ වූ කොටසක් ලෙස මෙය හඳුන්වනු ලැබේ. පැරැණි කාලයේ නිවාසවල මැද මිදුලක් තබා ඇත්තේ සමහර විට බ්‍රහ්ම පාදය නිදහස් කර දොස් නසා නිවෙස ඉදිකිරීමේ උපාය මාර්ගයක් නිසාද විය හැකිය. පැරැණි දවස ඉදිකරන ලද සමහර නිවාස කලාතුරකින් දක්නට ලැබේ. ඒවායේ සියලු ඉදිකිරීම් කර ඇත්තේ වාස්තු විද්‍යාවට එකඟව බව පරීක්ෂා කිරීමේදී හෙළිවේ.
අපේ දේශීය සාම්ප්‍රදායික වලව්වක් වූ සිටුමැඳුර අතිශයින්ම දේශීය සාම්ප්‍රදාකි වාස්තුවට අනුකූලව නිමකර ඇත. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ අතිශයින්ම සිත්ගත් චමත්කාර වටපිටාවක පිහිටා ඇති වසර 300කට වඩා පැරැණි මේ වලව්ව වාස්තුවට අදාළ පරිදි කලාත්මකව එදා ගොඩනගා තිබෙන බැව් පැහැදිලිය.
වත්මන්හි නිවාස ඉදිකිරීමේදී බාහිර අලංකාරය මෙන්ම ඇතුළත වාස්තුව ගැනද වැඩි උනන්දුවක් දැක්විය යුතුය. සියලු වාස්තු විද්‍යා ගොඩනැගී ඇත්තේ ආරම්භක, නිර්මාණ, පාරිසරික, භාවිතය (හැසිරීම) සහ අනියමිත යන්නෙන් දැක්වෙන පංචම ස්ථරය නම්වූ කරුණු පහක් මතය.
ආරම්භ දෝෂ :
ලණු ඇදීම, අත්තිවාරම් කැපීම, මුල්ගල සහිත නිදන් වස්තු තැබීම, ගෙහිමියාගේ උපන් නැකැතට අශුභ වීම, තත්කාල පංචාංගය සහ ග්‍රහ පිහිටීම අශුභ වීම, මේසන් (පෙදරේරු) හා වඩු කාර්මිකයන් අතින් වැරැදෙන වාස්තුමය දෝෂ, භූමි දෝෂ, භූත, බහිරව ආදී දෝෂ ආදියත්, ගෘහණිය ගැබ්ගෙන තිබෙන කාලවකවානුවකත්, මල්වර වීම් ආදියද මෙයට මූලිකව බලපෑම් ඇති කරයි.
නිර්මාණ දෝෂ : අශුභ දිශානුගත වීම, නිවෙසේ දිග පළල අශුභ වීම, කාමර වෙන් කිරීම, වහලය ගැසීමේ වැරැදි, දොරටු උළුවහු තැබීමේදී සිදුවන දෝෂ ආදිය නිර්මාණ දෝෂ වන්නේය.
පාරිසරික දෝෂ :ළිඳ, වැසිකිළි, කැසිකිළි, තාප්ප, ගේට්ටුව, මාර්ග කුලුනු, ගස්, බාහිර ගොඩනැගිලි, සුසානාගාර ආදියෙන් යෙදෙන පාරිසරික දෝෂයන්ද බලපානු ලැබේ.
හැසිරීම් දෝෂ හෙවත් භාවිතක දෝෂ :නිවාස ඇතුළත ආගමි වතාවත් නොකිරීම, ද්වේෂසහගතව හැසිරීම, අසභ්‍ය වචන කීම වැනි සමාජ විරෝධී ලෙස වැඩකටයුතු කිරීමද, කුඩා දරුවන්ට පීඩා කිරීමත්, ඔවුන්ට බැණීමත්, තුන්වැනි ශික්ෂා පදය නිවෙස ඇතුළත කඩාබිඳ දැමීමත්, අනියම් සබඳතා නිවෙස ඇතුළත පැවැත්වීමත් නිසා හැසිරීම් දෝෂ හටගනී. නිතර නිතර නිවෙස තුළ ඍණ ශබ්ද තරංග රැස්වීම ඉතා අශුභ වේ.
අනියම් දෝෂ :හදි හූනියම් වින දෝෂ, හදිසි මරණ සිදුවීම, මියගිය ආත්මයන් නිවෙස තුළට කාන්දුවී ගුප්ත ශබ්ද ඇසීම, දුර්ගන්ධය හැමීම ආදියත්, කබරයන්, නාගයන් නිවෙසට නිතිපතා පැමණීම, අකුණු වැදීම, පදිංචියෙන් තොරව දිගු කලක් නිවෙස පාළුවීම ආදියෙන් අනියම් වාස්තු දෝෂ හටගනී.
ඒ ඒ සුබ දිශාවන්ට අනුගතව ආගමික වතාවත් කිරීම, විෂබීජ නාශක සුවඳ ධූපයක් දිනපතා ඇල්ලීම, ප්‍රබල නිවාස ආරක්ෂක යන්ත්‍ර 8ක් නිදන් කිරීම, ලක්ෂ්මී දෙවඟනට පූජා තැබීම, මධ්‍ය ස්තෝත්‍ර ජපකිරීම හැකි නම් නියම (කෘත්‍රිම නොවන) වාලම්පුරියක් මධ්‍ය ලක්ෂ්‍යයේ තබා වතාවත් කිරීම, වහා ගයාත්‍රී මන්ත්‍රය උදේ සවස කියැවීම ආදී සත් ක්‍රියාවන් නිසා වාස්තු විද්‍යාවෙන් හටගන්නා දෝෂ අවම වේ. උපක්‍රමශීලීව නිවෙසේ වාස්තු දෝෂ අවම කරගත යුතුය. විශේෂයෙන්ම අත්තිවාරම් දැමීමේ සිට ගෙවදීම දක්වා ගෙහිමියාගේ ජන්ම නැකතට ඉතා සුව සීහුම් ඇති නැකැත් යොදාගැනීම වාස්තුව දක්වන අනිවාර්ය කරුණ වේ. නිවෙසක දෝෂ පරීක්ෂා කිරීමේදී ගෙහිමියන්ගේ ජන්ම පත්‍ර මෙන්ම ඉඩමේ හැඩතල රටාව, පරිසරය, නිවාස හිමියන්ගේ එදිනෙදා හැසිරීම් රටාව, මාඉම්වැටවල් පිළිබඳවත්, ගේට්ටුව පිහිටි ආකාරයත්, නිවෙසට විවිධ පැතිවලින් යාකරන ලද කාමර ආදියත් පිරික්සිය යුතුව ඇත. එහිදී ඇතිවන මූලික වර්ගීකරණයේදී සුඛ ධනාත්මක පැත්ත වෙනස් විය හැකිය. මේ සුබ වර්ගීකරණයට බාහිරව කාමර එකතු කිරීමේදී මධ්‍ය ලක්ෂ්‍යය වෙනස්ව වෙනත් අශුභ වර්ගීකරණයක්ද සෑදිය හැකිය.
තමාගේ අදහස අනුව හිතුමතේට ප්‍රධාන වූ මුල් ගෙයට කොටස් එකතු කිරීම් කළ යුත්තේ සුබ වාස්තුවට එකඟවය. නොඑසේ නම් වාස්තු දෝෂ ඇති වී හොඳට තිබූ නිවෙසක් නරක් වේවි. මුළු මිනිස් සිරුරම දරා සිටින්නේ ඇටසැකිල්ල මතය. නිවෙසක්ද රැඳී ඇත්තේ ශක්තිමත් නිවැරැදි වාස්තු මත පිහිටි අත්තිවාරම මතය. මේ අනුව විමසා බලන විටදී නිවැරැදි වාස්තුවට එකඟ වාසනාවන්ත නිවෙසක් ඉදිකර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔබ බුද්ධිමත්ව ක්‍රියා කිරීම අනිවාර්ය වන්නේය.
පල තුනේ හෝ හතරේ වහල ගැසීමේදී මුදුන් යට ලීයේ කෙළවරට තවත් පරාලයක් ගැසීම නිසා සොහොන් පරාලය සෑදේ. මෙය බලවත් දෝෂයකි. මුදුන් යටලියේ කෙළවරට කිසිම පරාලයක් ගැසීම සුදුසු නොවේ. මේ එක් කරුණකි. මුදුන් යටලීමට කුරුපා 2-4 වැනි ඉරට්ටේ ගණනක් ගත යුතුය. කුරුපා 1ක් හෝ කැණිමඬල නිවාසවලට අශුභය. උළුවහු උඩ කුරුපා තැබීම අශුභය. ප්‍රධාන දොරටුවට එල්ල වන බාහිර දෝෂ 18ක් වාස්තුවේ දක්වයි. තවද ඉඩමේ පිහිටීමේ රටාව අනුව නිවෙසක් ඉදිකර ගැනීමට ප්‍රායෝගිකව ක්‍රියාකළ යුතු වන්නේය. අවශ්‍ය වනුයේ බුද්ධිමත්ව අත්දැකීම් හරහා වාස්තු උපදේශනය අනුගමනය කර භූමියේ ස්වභාවික පිහිටීම අනුව ප්‍රායෝගිකව වාස්තුවට අනුව නිසි පරිදි යහපත් නිවෙසක් ඉදිකර ගැනීමය.
ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල
උපුටා ගැනීම මව්රට