ගේ හදපු මාසය ඔබට බලපාන්නෙ මෙහෙමයි
සෑම ජන්ම භූමියකුම උපතේ සිට මරණය දක්වා කාලය නිවෙසක් තුළ ජීවත් වීම සිදුකරයි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එහෙයින් තමාටම කියා නිවෙසක් ඉදිකර ගැනීම සෑම කෙනකුගේම සිහිනයක් බවට පත්වී ඇත. මේ තත්ත්වය අද වන විට තරගකාරී කාරණයක් බවට පත්ව ඇති අතර බොහෝ පිරිසක් කාලයෙන් කාලය සිය නිවාස අලුත් කිරීමට හෝ වෙනස් කිරීමට පෙළඹෙයි. එහෙත් බොහොමයක් දෙනා නොදන්නා කාරණාවක්ද නිවාස සම්බන්ධයෙන් වෙයි. එනම් වසරේ මාස දොළහම නිවාස කටයුතු ඇරැඹුමට සුදුසු නොවන බවයි. වසරේ නිවාස කටයුතු සඳහා සුබ මාසවලදී එම කටයුතු කිරීමෙන් සුබ ප්‍රතිඵල ලැබෙන බව තේරුම් ගන්නා අතරම අසුබ මාසවල නිවාස කටයුතු ඇරැඹුමෙන් ලැබෙන ප්‍රතිඵල අසුබ බවද තේරුම්ගත යුතුය. ඒ අනුව පහත දැක්වෙන්නේ වසරේ ඒ ඒ මාසවල නිවාස ඉදිකළ විට ලැබෙන ප්‍රතිඵලය.
ජනවාරි :ජනවාරි මාසය තුළ නිවාස ඉදිකිරීම සුබදායකය. එලෙස ජනවාරි මාසය තුළ ඉදිකළ නිවාසවල අරඹන ව්‍යාපාර කටයුතු ඉතා පහසුවෙන් දියුණු කළ හැකිය. එම නිවාසවල පදිංචිව සිටින පුද්ගලයන්ගේද ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වේ. එසේම එම නිවාස තුළ වාසය කරමින් රැකියා කටයුතුවල නියුතු වන්නන්ටද සුබ ප්‍රතිඵල ලැබේ. නිවැසියන්ගේ දරුවන්ට දියුණුව ලබා ගැනීමට පහසු වෙයි. ධනය නොඅඩුව ලැබෙන නිවෙසකි.
පෙබරවාරි :පෙබරවාරි මාසය නිවාස ඉදිකිරීමට සුබ නොවේ. යම් ලෙසකට පෙබරවාරි මාසයේ නිවෙසක් ඉදිකළහොත් එම නිවෙසේ ජීවත්වන අයට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. ලෙඩ රෝග සතුරු පීඩා වැනි අයහපත් අත්දැකීම් බහුල වන අතර ධනය අතින් පිරිහීමට පත්වේ. රැකියා කටයුතු අසාර්ථක වෙයි. ව්‍යාපාර හෝ වෙනත් සුබ කටයුතු එම නිවාසවලට නොගැළපේ.
මාර්තු :නිවාස කටයුතු සඳහා ඉතා සුබ මාසයකි. නිවාස තුළ සතුට සමගිය වර්ධනය වේ. සිරිකත ගැවසෙන නිවෙසක් බවට පත්වනු ඇත. නිවැසියන්ට සියලු සැප සම්පත් ලැබෙනු ඇත. ලෙඩ දුක් අඩු නිරෝගී දිවියකට අවශ්‍ය ශක්තිය නිවැසියන්ට ලැබෙන නිවෙසකි. සතුට සමගිය පිරුණු මෙම නිවෙසේ දිවි ගෙවන්නන් ඉතා ඉක්මනින් දියුණුවට පත්වේ.
අප්‍රේල් :නිවාස සෑදීමේදී නොගතයුතු මාසයක් ලෙස අප්‍රේල් මාසය සඳහන් කළ හැක. අප්‍රේල් මාසයේ ආරම්භ කළ නිවාසවල වාසය කරන ගෘහමූලිකයාට සුබ නොවේ. ලෙඩ දුක් සෑදීමට ඉඩකඩ ඇත. බාහිර සමාජයෙන් කරදර ගෙනදේ. කාලයත් සමඟ විවිධ කරදර ළඟාවේ.
මැයි :වෙසක් මාසයේ නිවාස ඉදිකිරීම් ආරම්භ කළේ නම් එය ඉතාමත් සුබදායකය. එම නිවැසියන්ට දියුණුවට හේතුවන කරුණු කාරණා නිතැතින්ම යෙදෙයි. ඔවුන්ට උසස් ප්‍රතිඵල හිමිවන විවිධ සිදුවීම්වලට මඟපෑදේ. සතුටෙන් සමගියෙන් ජීවත් විය හැක. ධනයෙන් අඩුවක් නොවේ. අගහිඟ ඇති නොවේ.
ජුනි :මෙම මාසය නිවාස ඉදිකිරීමට කිසිසේත්ම සුදුසු නැත. නොසිතූ නොපැතූ සිදුවීම්වලට හේතු යෙදෙනු ඇත. ඇතැම් විට ගෙහිමියාට විපත්, කරදර හෝ මරණයද ළඟාවේ. කිසි විටකත් නොසිතූ නොපැතූ අනතුරු සිදුවෙයි. ගින්නෙන් හෝ එවන් බලශක්තිවලින් අනතුරු ඇතිවය හැක.
ජූලි :ජූලි මාසයද නිවාස කටයුතු ඇරැඹීමට සුබ නැත. නිකරුණේ ශ්‍රමයත්, ධනයත් වියදම් වේ. විනාශ වේ. ලෙඩදුක්, කරදර නිතර නිතර පැමිණේ. තමන් සතු දේ සොර සතුරන්ට අත්වීමෙන් නිවැසියන් පීඩාවට පත්විය හැක.
අගෝස්තු :අගෝස්තු නිවාස කටයුතු ඇරැඹීමට ඉතාමත් සුබ මාසයකි. වාසනාව ඉතා වේගයෙන් නිවැසියන් වෙත ළඟාකර දෙයි. හිත මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන් උදව් ලබාගැනීමට නිවැසියන්ට වාසනාව පාදයි. නිවෙසෙ සතුට සමගිය උතුරයි. ධනයෙන් පිරුණු නිවෙසක් බවට පත්වෙයි.
සැප්තැම්බර් :මෙම මාසයද නිවාස ඉදිකිරීමට අසුබ මාසයකි. මෙම මාසයේ ඉදිකළ නිවාසවල ජීවත් වන්නන්ට ලෙඩදුක් බහුල වෙයි. නෑදෑ හිත මිතුරන් අහිමි කරවයි. කොතරම් අලුත්වැඩියා කළද පාළු ස්වභාවයට පත්වෙයි.
ඔක්තෝබර් :ඔක්තෝබර්ද නිවාස සෑදීමට සුදුසු නැත. නිතර නිතර අඬදබර සහ ගැටුම් ඇතිවන නිවෙසකි. ශ්‍රියා කාන්තාව නොරැඳෙන නිවෙසකි. මෙවැනි නිවාසවලද පාළු ගුප්ත බවක් පෙන්වයි.
නොවැම්බර් :නිවාස තැනීමට තවත් සුදුසුම මාසයක් ලෙස නොවැම්බර් මාසය සැලකේ. මෙම නිවාසවල වෙසෙන්නන්ට ධනය සතුට උතුරයි. සතුට සැපත රැගෙන සිරිදෙව්දුව පැමිණෙන නිවෙසකි.
දෙසැම්බර් :දෙසැම්බර් නිවාස කටයුතු ඇරැඹීමද ඉතාමත් සුබවේ. ගෙදර දියුණුවට හේතු යෙදේ. නිවැසියන් නිරෝගී වේ. ධනය ලැබේ. රැකියා, තානාන්තර මෙන්ම ව්‍යාපාර ලාබ ලැබේ. කිසිවකුට දෙවැනි නොවී සිටින්නට නිවැසියන්ට අවස්ථාව ලැබේ.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්උපුටා ගැනීම මව්රට