නිවස සෑදීමට සුදුසු භූමියක් තෝරන භූමි පරීක්‍ෂණ
වාස්‌තු විද්‍යාවේ ප්‍රධාන අංක 2 කි. එනම්, නිවාස සෑදීමට සුදුසු භූමියක් තෝරා ගැනීම හා නිවස සාදා ගැනීම යනුවෙනි. නිවසක් සෑදීමට තෝරාගත් භූමිය නිවසක් සෑදීමට උචිතද, අනුචිතද යන්න දැන ගැනීමට නිවාස ඉදිකිරීමට ප්‍රථම භූමි පරීක්‍ෂාවක් කළ යුතුය. එලෙස භූමි පරීක්‍ෂාව සිදු කරනු ලබන ආකාර හතරක් පැරණි වාස්‌තු විද්‍යා පොත පතෙහි සඳහන්ය. භූමි පරීක්‍ෂාවකින් අනතුරුව භූමි පරීක්‍ෂාවේ ශුභ අශුභ සලකා බැලූ කල අදාළ භූමිය භූමි පරීක්‍ෂණයේ අසමත් නම් එම භූමිය නිවසේ සෑදීමට සුදුසු වන සේ සංවර්ධනය කර ගත හැකිද යන වග සොයා බැලිය යුතුය. යම් ලෙසකින් එය ද අසාර්ථක වන්නේ නම් එම භූමිය නිවසක් සෑදීමට අනුමත කළ නොහැක. වර්තමානයේ තරමක් අපහසු කාර්යයක් වුවද ඉඩමක් මිලදී ගැනීමට ප්‍රථම මෙම භූමි පරීක්‍ෂාවන් සිදු කළ හැකි නම් ඉතා යහපත්ය. භූමියේ ශුභ, අශුභ දැන ගැනීමේ පරීක්‍ෂණ මෙසේය.
- නිවස සෑදීමට තෝරාගත් භූමියේ මධ්‍යයේ ගස්‌ගල් හෝ වෙනත් බාධක නොමැති ස්‌ථානයක් පිරිසිදු කර අඩියක් පමණ ගැඹුරට මතුපිට පස් ඉවත්කර ගන්න. ඊට පසු ඉඩම් අයිතිකරු අතින් රියනක් හෙවත් අඩි 1 1/2 ක් පළල ගැඹුරු රවුම් හැඩති වළක් හාරා එය සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවන්න. ඊට පසු එම ස්‌ථානයේ සිට පියවර 100 ක් ගොස් ආපසු හැරී පැමිණ වළ දෙස බලන්න. වළේ ජලය නොසිඳී ඇත්නම් හෝ වළේ ජලය අඩුවී ඇත්නම් එම ඉඩම නිවාස සෑදීමට සුදුසුය. භූමිය ඉතාම වාසනාවන්තය.
- නිවස සෑදීමට තෝරාගත් භූමියේ මධ්‍යයේ ගස් ගල් හෝ වෙනත් බාධක නොමැති ස්‌ථානයක් පිරිසිදු කර අඩියක් පමණ ගැඹුරට මතුපිට පස් ඉවත්කර ගන්න. ඊට පසු ඉඩමේ අයිතිකරු අතින් රියනක් හෙවත් අඩි 1 1/2 ක් පළල ගැඹුරු රවුම් වළක් හාරා ගන්න. මෙම වළ හෑරීමේ විශේෂත්වය වන්නේ මෙය රාත්‍රි කාලයේ හෑරීමය. වල හාරා අවසානයේ ජලයෙන් පිරවිය යුතුය. පසුදින අලුයම බැලූ විට වළේ ජලය ඉතිරිව තිබේ නම් නිවස සෑදීමට භූමිය ශුභය. ජලය සිඳී ඇත්නම් සමපලදායකය ජලය සිඳී වළ ඉරිතලා පිපිරි වියළී ඇත්නම් අශුභය.
- නිවස සෑදීමට තෝරාගත් භූමියේ මධ්‍යයේ ගස් ගල් හෝ වෙනත් බාධක නොමැති ස්‌ථානයක් පිරිසිදු කර අඩියක් පමණ ගැඹුරට මතුපිට පස් ඉවත්කර ගන්න. ඊට පසු ඉඩමේ අයිතිකරු අතින් රියනක් හෙවත් අඩි 1 1/2 ක් පලල ගැඹුරු රවුම් වළක් හාරා ගන්න. නැවත එම පස්‌වලින්ම වළ පුරවන්න. එවිට වළ සම්පූර්ණයෙන් වැසූ පසුවත් පස් ඉතිරිවේ නම් එම භූමිය නිවස සෑදීමට ශුභය. පස් මදි වූවා නම් අශුභය. පස් මදිත් නොවී වැඩිත් නොවුවා නම් සමඵලය.
- නිවස සැදීමට තෝරාගත් භූමිය මධ්‍යයේ ගස් ගල් හෝ වෙනත් බාධක නොමැති ස්‌ථානයක් පිරිසිදු කර අඩියක් පමණ ගැඹුරට මතුපිට පස් ඉවත්කර ගන්න. ඊට පසු ඉඩමේ අයිතිකරු අතින් රියනක් හෙවත් අඩි 1 1/2 ක් පළල ගැඹුර රවුම් වළක් හාරා ගන්න. වළෙ ගොම මැටි ගා වියළා ගන්න. වළ හෑරීමත්, ගොම මැටි ගෑමත් උදයවරුවේ කළ විට හවස් වන විට වළ පරීක්‍ෂණයට යොදා ගත හැකි මට්‌ටමේ පවතී. දැන් සෝදා වියලා පිරිසිදු කරගත් අලුත් මැටි පහන් 5 ක් ගෙන ගිතෙල් පුරවා අලුත් පහන් මැටි දමා පළමුව වල තුළත් එනම්, වළේ මැදත් එක පහනක් දල්වන්න. ඉතිර පහන් සතර වළ ගැට්‌ටේ සිව්කොන දල්වන්න. එම පහන් දිගු වේලාවක් දීප්තිමත්ව ආලෝකය විහිදෙන සේ නොනිවී දැල්වේ නම් නිවස සෑදීමට ශුභය. පහන්වල ආලෝකය දීප්තිමත් නැත්නම් මළානික නම් හෝ පහන් නිවේනම් නිවස සෑදීමට සුදුසු නැත. උක්‌ත පරීක්‍ෂණ සතරේදීම මතුපිට පස් අඩියක් පමණ ඉවත් කරනුයේ එම පස් අපිරිසිදු හෙයිනුත් එම පස් බුරුල් හෙයිනුත්ය. මෙලෙස මතුපිට පස් අඩියක් පමණ ඉවත්කරන විට පිහිටි පොළව හෙවත් තද පොළොව හමුවේ. මේ පරීක්‍ෂණ සියල්ල කළ යුත්තේ තද පිහිටි පොළොව යොදාගෙනය.
තවද භූමි පරීක්‍ෂාව සඳහා වළ හෑරීමේදී හමුවන ද්‍රව්‍ය අනුවත් ශුභා ශුභ වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ. ඒ අනුවත් නිවාස සෑදීමට සුදුසු නොසුදුසු බව තීරණය කළ හැක. එලෙස හමුවන ද්‍රව්‍යවලට අනුරූප ඵලා පල මෙසේය.
- උලු, ගඩොල්, රන්, රිදී, තඹ, මැණික් ආදිය හමුවේ නම් භූමිය නිවස සෑදීමට ශුභය. ධනවත් වේ. සැප සම්පත් ලැබේ.
- මිනිරන්. රන්වන්පාට දිලිසෙන පස් සහිත භූමි නිවස සෑදීමට ශුභය. ධනවත් වේ. සැප සම්පත් ලැබේ.
- තෙල් කුහුඹුවන්, වේයන්, මැඩියන්. සර්පයන්, හූනු බිත්තර, කටුසු බිත්තර, ඉබි බිත්තර, සර්ප බිත්තර ආදිය හමුවේ නම් නිවාස සෑදීමට සුදුසු නොවේ. අශූභය.
- කපු පුළුන්, දිරාගිය ඇඳුම්, පැළඳුම් කොටස් ආදිය හමුවේ නම් නිවාස සැදීමට අශුභය. නිතර රෝගාබාධවලට ලක්‌වේ.
- පිළිස්‌සුනු දැව කොටස්, භෂ්ම හෙවත් අලු, දහයියා ආදිය හමුවේනම් භූමිය, නිවාස සෑදීමට අශුභය. නිතර ලෙඩ රෝග සෑදේ.
- හිස් කබල්, ශල්‍ය හෙවත් සත්ව අස්‌ථි කොටස්, මැටි භාණ්‌ඩවල කැට කැබිලිති ආදිය හමුවේ නම් නිවාස සෑදීමට අශුභය. ගෙහිමියා ඉක්‌මනින් මරණයට පත්වීම හෝ රෝගීවීම සිදුවේ.
- බෙල්ලන්, කවඩි, සිප්පිකටු ආදිය හමුවේ නම් නිවාස සෑදීමට අශූභය. නිතර රන්ඩු සරුවල් කල කෝලාහල ඇතිවේ.
- දිරාගිය යකඩ හමුවේ නම් නිවස සෑදීමට සුදුසු නොවේ. අශුභය. ඉක්‌මනින් මරණය ගෙනදේ.
ඉහත සඳහන් ලෙසට භූමි පරීක්‍ෂාව සඳහා වළ හෑරීමේදී හමුවන ද්‍රව්‍ය සම්බන්ධවත් භූමි පරීක්‍ෂා තුළින් ලද ප්‍රතිඵල සම්බන්ධවත් හොඳින් විමසා එම භූමිය නිවාස ඉදිකිරීමට සුදුසුද යන්න තීරණය කරනු ලැබේ.
ජ්‍යෝතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද
උපුටා ගැනීම දිවයින