වාස්‌තු විද්‍යානුකූලව වැසිකිළිය ඉදි කර ගන්නේ කෙසේද?
ශිෂ්ට සම්පන්න මිනිසාගේ සනීපාරක්‍ෂක කටයුතු වළදී යටිතල පහසුකමක් ලෙස අත්‍යවශ්‍ය සාධකයකි වැසිකිළිය. එනිසා එය නිවැරදිව ක්‍රමවත්ව ඉදිකිරීම සම්බන්ධව අප දැනුවත් විය යුතුය. වැසිකිළියක් ඉදිකිරීමේදී සලකා බැලිය යුතු කරුණු කාරණා බොහෝය. ඒ අතර වාස්‌තු විද්‍යාත්මක කරුණු රැසකි. වැසිකිළිය සැලකූ කල වර්ග කිහිපයකට ඛෙදා වෙන්කළ හැක. ඒ බාල්දි, වළ, ජලමුද්‍රිත හා කොමොඩ් වැසිකිළි ලෙසය. අද වන විට බාල්දි හා වළ වැසිකිළි අභාවයට ගොස්‌ය.
සාමාන්‍යයෙන් ඉඩමක පාද ඛෙදා වෙන් කිරීමේදී වැසිකිළිය සඳහා යොදාගන්නේ ප්‍රේත පාදයයි. ඉඩමේ සෙසු පාද වන බ්‍රහ්ම පාදය, දේව පාදය හා මනුෂ්‍ය පාදය වැසිකිළිය හෝ වැසිකිළි වළ සඳහා යොදා නොගනී. පුරාණ ගෘහ දිශා චක්‍රයට අනුව වැසිකිළිය දිශාගත විය යුත්තේ දකුණු හා නිරිත දිශා අතරටය. වැසිකිළිය කිසි විටක ප්‍රධාන දිශාගත නොවිය යුතුය. එසේම අන් දිශා අතුරින් වැසිකිළිය සඳහා සුදුසුම දිශාව නිරිත දිශාවයි. එහෙත් උක්‌ත දිශා යොදාගත නොහැකි ඇතැම් අවස්‌ථාවළ නිරිත බටහිර අතර ද බටහිර වයඹ අතර ද වයඹ උතුර අතරද වැසිකිළිය සාදනු දැකිය හැක. ඉහත සඳහන් දිශා වැසිකිළිය සෑදීමට සුබ සෙසු දිශා සේ සැලකේ. එහෙත් යම් ලෙසකින් ඉඩමේ කොනක් හෙවත් මුල්ලක් වයඹ, ඊසාන, ගිනිකොන හා නිරිත දිශා ගත වේ නම් එම කොන් සතරේ කිසිදා වැසිකිළිය හෝ වැසිකිළි වළ යෝග්‍ය නොවේ.
වැසිකිළියේ අප ජලය ගලායැම උතුරු, නැගෙනහිර හෝ ඊසාන දිශාගත විය යුතුය. කිසිදු විටක වැසිකිළිය මුලුතැන්ගෙට ආසන්න නොවිය යුතු අතර වැසිකිළි වළ සැකසීමේදී එය බීමට ජලය ලබාගන්නා ළිඳේ සිට අඩි 50 ක් වත් දුරින් විය යුතුය.
වැසිකිළි වළ සැලකූ කල ව්‍යුහාත්මකව පූතික හා ගවර වළ ලෙස කොටස් 2 කි. මෙයින් පූතික වළ, කපරාදු කරනු ලබන අතර ගවර වළ කපරාදු කරනු නොලැබේ. පූතික හා ගවර වළ් සඳහා වෙළෙඳපළේ ඇති කෘතිම ටැංකි වාස්‌තු විද්‍යාත්මකව අනුමත කළ නොහැක. සාමාන්‍යයෙන් වැසිකිළි වළක් අඩි 6 ක් පමණ ගැඹුරට හෑරීම සිදුවේ. ඒ ලෙස හෑරූ වැසිකිළි වළ කොන්ක්‍රීට් පියන් මගින් ආවරණය කරනු ලැබේ. කෙසේ වෙතත් පුතික ටැංකියට හා ගවර වළට වාත නලයක් සවිකිරීම අත්‍යාවශ්‍යය. එමගින් විෂ වායු රැස්‌වීම වළකී. වැසිකිළියද, වැසිකිළි වළද ළිඳ මෙන්ම නිවසට කොන් වැටීම හෙවත් බිත්ති කොනකට අසු නොවිය යුතුය. එසේම යටලී, දොර, ජනෙල්, කුරුපා ආදියේ මැදට හසු නොවිය යුතුය. තවද වැසිකිළිය නිවසේ මුල්ගල තැබූ බිත්තියට සම්බන්ධ වීමද ඉතාම අසුබය. සතර දිශාවෙන් කවර දිශාවක වුවද නිවස මැදට කෙළින් වැසිකිළිය මෙන්ම වැසිකිළි වළ තැනීම අසුබය. වැසිකිළියක බිත්ති 4 ම තිබිය යුතුය.
වැසිකිළිය නිවසට හෝ තාප්පයකට හෝ වෙනත් ඉදිකිරීමකට ඈදා බිත්ති තුනකින් යුක්‌ත කිරීමද අසුබය. එසේම අත්තිවාරමක පාද ඛෙදීමේදී ලැඛෙන නන්දා, ජයා ආදී සුබ පාද වැසිකිළිය මෙන්ම වැසිකිළි වළ තැනීම සඳහා යොදා ගැනීම යෝග්‍ය නොවේ. විශේෂයෙන්ම නිවසක පීතෘ බිත්තිවළට ඈදා වැසිකිළිය තැනීම ඉතාම අසුබය. සාමාන්‍යයෙන් නිවසක් තැනීමට පෙර ළිඳ හා වැසිකිළිය තැනීම සුලබව දැකිය හැක. එහිදී ඒ සඳහා සුදුසු නිවැරදි ස්‌ථානය වාස්‌තු දෝෂ නොමැති වන සේ තෝරා බේරා ගත යුතුය.
තවද දෙමහල් නිවෙස් සැලකීමේදී නිදන කාමර, බුදු මැඳුර මෙන්ම මුලුතැන්ගෙය හා කෑම කාමරය උඩද වැසිකිළිය වීම ඉතාම අසුබය. එපමණක් නොව වැසිකිළිය ප්‍රධාන දිශාවන් සතරට ගැනීමේ අසුබ ඵල සම්බන්ධව ද වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ. ඒ මෙසේය.
- උතුර - අඹුසැමි භේද.
- නැගෙනහිර - දරුවන්ට අපල.
- බටහිර - ලෙඩදුක්.
- දකුණ - සතුරු කරදර.
තවද වැසිකිළිය තුළට හිරු එළිය වැටීමට හැකි වනසේ නිර්මාණය ඉතාම වැදගත්ය. නිවස තුළ වැසිකිළිය මුල්ලකට ගත්තද වැසිකිළි පෝච්චිය කිසිවිට ගෙයි මුල්ලට නොගත යුතුය. එසේම කොමෝඩයේ හිඳගත් විට මුහුණ නැගෙනහිර හෝ බටහිර දිශා ගත නොවිය යුතුය. වැසිකිළිය වර්ණ ගැන්වීම සඳහා සුදු, රෝස, අළු පැහැ ටයිල් භාවිතය සුදුසුය. එහෙත් රතු, කලු වර්ණ ටයිල් අසුබය. වැසිකිළිය සම්බන්ධ වාස්‌තු දෝෂත් එහි ආදීනවත් සලකන කල වැසිකිළිය බිත්ති තුනකින් යුක්‌ත වීම නිසා කිසිදු කටයුත්තක් අංග සම්පූර්ණව කරගත නොහැක. එසේම නිවසට යා කර වැසිකිළිය සෑදීමේදී නිවැරදිම ක්‍රමය වනුයේ නිවසේ අත්තිවාරමට වඩා පහළින් මෙන්ම නිවසේ අත්තිවාරමට වඩා අඟල් කීපයක් පිටතින් බිත්ති 4 ක් සිටින සේ වැසිකිළිය සෑදීමය. තවද වැසිකිළිය නිවසට දුරින් වේ නම් වැසිකිළියේ අත්තිවාරම නිවසේ අත්තිවාරමට කොන් නොවැටිය යුතුය. එසේම ඉඩමේ මුලුවළට අසු නොවිය යුතුය. එපමණක් නොව ඉඩමේ බ්‍රහ්ම, දේව හා මනුෂ්‍ය පාද ආදියට අසු නොවිය යුතුය. එසේම මර්මස්‌ථාන රේඛාවළට අසු නොවිය යුතුය. තවද වාස්‌තු පුරුෂයාගේ හිස, පපුව, ලිංගය ආදී කොට ඇති පීඩා නොවිය යුතු අංග පීඩා නොවන සේ වැසිකිළියත් වැසිකිළි වළත් ස්‌ථාන ගත කරගත යුතුය.
ඉහත කරුණු කාරණා නොසලකා වැසිකිළිය වළ කැපීමෙන් මෙන්ම වැසිකිළිය ඉදිකිරීමෙන් නිවැසියන්ට නොයෙකුත් පීඩා ගෙන දේ. විශේෂයෙන්ම අපහාස අවනම්බු ගෙන දේ. යම් ලෙසකට මනූෂ්‍ය පාදයේ වැසිකිළි වළ පිහිටි කල නිවස ඵලදීම අඩුය. තවද ඉඩමේ ගිනිකොන දිශාවේ හෝ ඉඩමේ බ්‍රහ්ම පාදයට අසුවන ලෙස වැසිකිළි වළ කැපීම නිවසේ සමඟිය දෙදරා යැමට තුඩුදේ. තවද ඉඩමේ අටකොන මුල්කරගෙන විහිදෙන මර්මස්‌ථාන රේඛා වළට හසුවන සේ වැසිකිළි වළ කැපීමද වැසිකිළිය තැනීමද මාරක අපල හා භයානක ලෙඩ දුක් ගෙන දීමට හේතු වේ. එපමණක් නොව නිවසේ මිදුලට පැමිණෙන අයෙකුට එක එල්ලේම නිවසේ වැසිකිළිය දර්ශනය වීමද ඉතා තදබල වාස්‌තු දෝෂයකි. කෙසේ වෙතත් නිවස ඉදිරිපිට වැසිකිළිය හෝ වැසිකිළි වළ පිහිටීම ඉතාම අසුබය. ඇතැමුන් වැසිකිළි වළ නිවස තුළම සාදයි. මෙයද බරපතල වාස්‌තු දෝෂයකි. සියලු කරුණු කාරණා සලකා බලා වැසිකිළියත් වැසිකිළි වළත් දිශාගත කර ගත යුත්තේ දිශා අනුපිළිවෙළින් උතුරේ සිට දකුණ දක්‌වා යෙදෙන දිශා සියල්ල අත හැරය. වැසිකිළි වළ ඉඩමේ මර්මස්‌ථාන වළට හසුවීමත් එසේ අසු නොවී වැසිකිළි වළ ඉඩමේ ප්‍රේත පාදයේ ස්‌ථාන ගත කර ගැනීමත් මතක තබා ගන්න.
ජ්‍යෙතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද
උපුටා ගැනීම දිවයින පුවත් පත